Monday, May 23, 2011

අරුම ලෝකයක්...


විඩාබර දෙනෙත් අඩවන් කරනෙමි..
ලෝකයෙන් මිදී සැනසුම ලබනට..
දෙනෙත් අභියස අඳුරු ලෝකයක්..
හිරු එලිය එන්නැති,
මල් සුවඳ නොදැනෙන...

හදෙහි කෙලවරක...
තනි වුන සිතුවමකට..
ජීවය ගෙන දෙයි..
නවමු ලෝකයක්...

බිය මෙන් සතුටද..
දුක මෙන් පැතුමද...
සිතේ උපදවයි...
අරුම ලෝකයක්...

විටෙක මතකෙට..
ඉගිලී යන්නට..
හිතට තටු දෙයි...
වෙනස් ලෝකයක්...

සියැසින් දුටුවද..
සිතින් විසුවද..
හැබැහින් නොදුටුව..
සිහින ලෝකයක්...

Thursday, May 19, 2011

කියා දෙන්න මට..


නුහුරු නුපුරුදු..
දිවියක ඇරඹුම..
ගිලිහී යයි නෙතු අද්දරම..
වින්ද සැපක පහස..
බොඳවී යයි දෑස් අභියස..
මැවූ හීන වැල් දෙනෙත පිනවන..
එදා සුර සැප අහිමි වනු ඇත...
කලෙක ගරු නම් නැවත නැත මට..
නමුදු ඇත මට ඔබේ හදවත..
එදා කියා දුන් පෙමක අරුමය..
කියා දෙන්න මට..
ඒ හිතින්ම අද..
ගැට ගසන්නට..
කටුක දිවියක්...
කියා දෙන්න මට..
ඒ හිතින්ම අද...
නොසැලි ඉන්නට....
හදුන ගන්න දුක...
කියා දෙන්න මට..
ඒ හිතින්ම අද..
සතුට ලබන හැටි..
දුක් ගැහැට මැද...
සොයා දෙන්න මට..
මගෙම ලෝකයක්..
ආදරය පිරි...
දුක සැප හඳුනන....



Thursday, May 12, 2011

ෂෝ එකේ අවසානය...


කොහෙමෙන් කොහොමෙන් හරි දැකුම් කලුත් අපෙන් සමු ගත්තා.. ඇතුලේ කතා බහ සේරම ඉවර වෙලා අපි කස්ටියම එලියට බැස්සේ ගෙදර එන්න හිතාගෙන.. දොර ලඟ කට්ටිය තෙරපෙනවා එලියට බැහැ ගන්න..තෙරපිලා තෙරපිලා එලියට බැහැලා කාර් එක පාර්ක් කරපු තැනට එනකම් තමා එකම යුද්ධේ.. ඇයි ඉතින් අපේ අම්මලා තාත්තලා අදුරන අය වැහි වැහැලා...කඩේ ඉදි ආප්ප රාණි කියයි.. පොලේ බොංචි සුනිල් කියයි.. හන්දියේ ලාවුස් කියයි..ඔය වගේ අමුතු අමුතු නම් තියන අය මග දිගට අහු වෙනවා.. ඒ හම්බ උනා කියන්නේ ඉතින් දන්නවනේ.. ඒ කතා කෝච්චි වලටත් වඩා දිගයි..ඔය කතා දිහා කට ඇරන් බලන් ඉන්න එක ඊට හපන් එපා වෙනවා...අපේ මස්සිනා අතුරුදහන් වෙලා.. අක්කත් පැත්තකට වෙලා පිපිරි පිපිරි ඉන්නවා මස්සිනාව මතක් කර කර... මායි හිතුවක්කාරියි අපේ අක්කයි , නෑදෑ වෙන අයියයි කතා උනා කාර් පාර්ක් එකට ඔහොම ඇවිදගෙන යන් කියලා.. හිමීට හිමීට පොඩි කතාවකුත් දාගෙන අපි කස්ටිය ඔන්න කාර් එක ගාවටත් ආවා..

සංගීත සංදර්ශනේ දේවලුයි, කට්ටිය නටපු හැටියි මතක් කර කර කාර් එකටත් හේත්තුවක් දාගෙන ඉන්නකොට අහල පහලින් කලබල කාරී සද්දයක් වගේ එන්න ගත්තා.. හැරිලා බලනකොට අපොයි මෙන්න බොලේ තනි මනුස්සයෙක් පස්සෙන් එලවගෙන් යනවා නේද දහ දෙනෙක් විතර.. අර මනුස්සයා පණ දාගෙන දුවනවා.. අපිටත් ඉතින් මැජික් වගේ.. කටත් ඇරන් බලන් උන්නේමොකද මේ වෙන්නේ කියලා.. බැලින්නම් ලංකාවේ සංගීත සන්දර්ශනයක සාම්ප්‍රදායක අංගය එලි දක්වනවා... ඒත් ඉතින් තනි මනුස්සයා පස්සෙන් ඔහොම එලවන් යන එක හරි නෑ නේ මොනා උනත්.. ඒ පාන්දර අන්දකාරේ අපිට මොකුත් පේන්නෙත් නෑ.. චට පටාස් ගාලා වීදුරු බිඳෙන සද්ද වගේ නම් ඇහෙනවා.. මාව නලියනවා..බයත් හිතුනා ටිකක්..

" අපොයි දෙයියනේ.. අර මනුස්සයට කට්ටියම එක්කහු වෙලා ගහනවා වගේ " මම ගොලු වෙලා උන්න අපේ කට්ටිය අතරේ හඩ අවදි කරා...
"අනේ ඔව් බෝතල් බිදෙන සද්දෙත් ඇහෙනවා..." ඒ අපේ හිතුවක්කාරි...
"මේ බලන් ඉදලා හරි යන්නේ නෑ.. මොනා උනත් අර තනි මනුස්සයනේ.. අපි පොලිසියට කෝල් එකක් දෙමු " අපේ අක්කාගේ අදහස නම් නරක නෑ වගේ..
" මේ පිස්සුද.. ඔව්වට ඇගිලි ගහන්නේ නැතුව ඉන්නවලා.. " අපෝ ඒ අපෙ නෑදෑ අයියා.. අර මනුස්සයා ගුටි කනවා බලාගෙන කිව්වානේ හිතක් පපුවක් නැතුව..අපි මොකට බය වෙන්නද....
"මේ නිම්ශා ගන්න කෝල් එකක් පොලිසියට" මම එහෙම කිව්වේ අයියා එක්ක තරහෙන් පිපිරි පිපිරි.. ඇයි බොලේ අපි ගෑණු උදවිය වෙලත් නොසැලී ඉන්නවා.. මේ යකා මූඩ් එකම කාල දැම්මා...අපේ අක්කාත් ෆුල් සපෝර්ට් එක දෙනවා දැන්.. හිතුවක්කාරිත් ෆෝන් එක එලියට ඇදලා අරගෙන ගත්තා පොලිසියට කෝල් එකක්.. අරහෙන් හෙලෝ කිව්වා විතරයි..
හිතුවක්කාරි : " හෙලෝ.. මම මේ ඉන්නේ අහවල් තැන.. එතන කට්ටියක් ගහ ගන්නවා කරුණාකරලා පොඩ්ඩක් ඇවිත් බලන්න.. එක්කෙනෙක්ට තුවාලද මන්දා "
අනිත් පැත්තෙන් : " ආ.. මිස් අපි මේ ගිලන් රථයෙන් .. ඔයා පොලිසියට කෝල් එකක් ගත්තොත් හොදයි.. ඕනේ නම් අපිට නම්බර් එක දෙන්න පුලුවන්.. "
හිතුවකාරි : " ඔහ්.. සමාවෙන්න.. පුලුවන් නම් මට පොලිසියේ නම්බර් එක දෙන්න"
පොලිසියේ නම්බරේත් ඉල්ලගෙන හිතුවක්කාරි ඇමතුම විසන්ධි කලේ කටත් ඇද කරගෙන..
" ආ..පෝ.. හෙන චාටර් මම අම්බුලන්ස් එකට කතා කරලා තියෙන්නෙ.. මෙන්න පොලිසියෙ නම්බරේ.. මට නම් බෑ ආයෙ ගන්න මේන්.. " ඔහොම කියාගෙනම හිතුවක්කාරි ෆෝන් එක උලුක් කරා මගෙ පැත්තට..
ඊලඟට මගේ වාරේ.. මාත් ඉතින් වැඩකාරි වගේ ගත්තා පොලීසියට ... කිව්වා විස්තරේ හිතුවක්කාරි කියපු විදියටම..හැබැයි එකටම ඇහුවා මේ පොලිසියද කියලා..
පොලිසිය : " මිස් අපිට හරියටම කියන්න මිස් ඉන්න තැන.. පාර එහෙම.. "
හපොයි ඉවරයි අපි ඉතින් මිලානෝ නුවර ගැන දන්න එකක් යැ.. හොද වෙලාවට මෙහෙ හැම පාරකම පාරේ නම් ගහලා බෝඩ් එකක් තියෙනවා.. ඒකත් බලාගෙන සේරම විස්තරේ දිග ඇරියා ඔන්න.. පොලිසියට ඕනේ නැති එකක් නෑ.. හැම එකම අහනවා.. ගහගන්නේ ඉතාලි ජාතිකයොද වෙන ජාතියෙදත් අහනවා... විස්තරේ සේරම කිව්වයින් පස්සේ ඇති යන්තම් එන්නම්ය කියලා කිව්වා..
දැන් අපේ කස්ටිය යන්නත් ලෑස්තිය.. මේ පොලිසිය තාමත් නෑ.. අම්මලා කෑ ගහනවා ගෙදර යමු.. දැන් වෙලාත් ගිහින් කියලා.. මොනා කරන්නද අපි පිටත් උනා ගෙදර එන්න..එවෙලෙත් ගහ ගන්න කට්ටිය සද්ද බද්ද කර කර උන්නේ...

ටික දුරක් යනකොට මගේ ෆෝන් එකට කෝල් එකක් එනවා.. නම්බරේකුත් නෑ.. නම්බරේ වහලා ගහන්නත් පුලුවන්නේ..
මම : "හලෝ.. "
අනිත් පැත්තෙන් : " මිස් අපි පොලිසියෙන්.. කෝ මිස් කියපු තැන දැන කවුරුත් නෑ.. " අපෝයි මේ මොන බාල්දියක්ද.. ඊලඟට මාවත් පොලෝසියෙන් අරන් යනවා.. තනි හිතට මට හිතුනේ එහෙමයි..
මම : " ආ.. හරිම කණගාටුයි.. අපි දැන් ගෙදර එන්න පිටත් උනා.. අනික ඔයාලා පරක්කුයි.. එතන හබ කරන වෙලේ තමයි මම කතා කරේ.. " මමත් දඩස් ගාලා කතාව අනිත් අතට හැරෙව්වා.. මම මොනා කරන්නද ඉතින්..
පොලිසිය : " ආ.. එහෙනම් කරන්න දෙයක් නෑ.. කොහොම උනත් පණිවිඩයට ස්තූතියි.. "

අනේ අම්මේ කොහොම හරි පොලිස් කේස් එකත් ඉවරයක් උනා.. තව ටිකෙන් මාව පොලිසියෙන් අරන් යනවා බොරු පණිවිඩ දෙනවයි කියලා..
බලන්නකෝ ඒකෙත් හැටි.. ගහ ගත්ත කස්ටිය කොහෙට මාරු උනාද මන්දා ඒ ටිකට..

ඔන්න ඔහොම තමයි එදා දවස ගෙවුනේ..කවදාවත් අමතක නොවෙන විදියට...දැකුම් කලුලා, තට්ට අංකල්,කැමරා කාරයෝ.. අන්තිමට පොලිසියත්...ගෙදර ඇවිදිනුත් මටයි හිතුවක්කාරිටයි හිනා... අම්මලාත් පැත්තකට වෙලා ඉදගෙන උන්නාට මොකද සේරටම ඇහැ ගහන් ඉදලා තියෙන්නේ.. ඒක හින්දා ගෙදර ඇවිල්ලත් දැකුම්කලුව මදි නොකියන්න මතක් කරා..මදැයි ශෝ එකක් බලන්න ගිහින් උන හදියක්..

Tuesday, May 10, 2011

අම්මේ අම්මේ මගේ කොණ්ඩේ,,


අද මට ඔහොම ඉන්න ගමන් මතක් උනා මීට අවුරුද්දකට විතර කලින් මට වෙච්චි ඇබැද්දියක් ගැන.. මට ඉතින් උනොත් වෙන්නේ ඔය වගේ වැඩ තමයි නේ.. මේකත් අර කචල් හීනයක් තමයි.. කචල් උනත් මොකද හීනයක් නම්.. ඒත් මේක නම් හීනයක් නෙමේ.. හැබෑවට වෙච්චි සිදුවීමක්..

එදත් වෙනදා වගේම අලුත් ඒත් එපා කරපු දවසක ආරම්භයක්.. එපා කරපු දවසක් කිව්වේ ඉතින් ඉස්කෝලේ යන්න වේලාස්සන නැගිටින්න ඕනේ හින්දා..අනික ඒ සීත කාලේ මෙහෙට..පාන්දර හයට නැගිටින වෙලාවට තමා හොදම නින්ද..ඒ උනාට කොහෙද ඉතින් හයේ ඉදන් නැගිටගෙන වද දෙන්න එපැයි..මෙහෙ සීත කාලේ කියන්නේ ඉතින් ලංකාවේ පාන්දර වැටෙන හීන් ඉර එලිය ගැන හිතලාවත් නෑ.. හද්ද කරුවලයි..

පාන්දර හයේ සීනුව වැදෙනකොටම මමත් වෙනදා පුරුද්දටම නැගිටල අත පත ගාගෙන හෙව්වේ ලයිට් එක දාන ස්විච් එක..ලයිට් එක දානවා දානවා ලයිට් එක වැටෙන්නේ නෑ... මාත් ඉතින් හොල්මන වගේ කාමරෙන් එලියට බැස්සේ කොරිඩෝවේ ලයිට් එකවත් වැඩ කරනවද බලන්න..ම්හ්ම්.. ඒකත් වැඩ නෑ.. මටත් පුදුමයි ඉතින් මොකද මෙහෙ කරන්ට් එක යනවා කියන්නේ කලාතුරකින්..ඊලඟට බිත්තිය අත ගාගෙන අම්මලාගේ කාමරේ දිහාවට ගිහින් මම තාත්තාට කිව්වා.. තාත්තේ ලයිට් නෑ වගේය කියල..තාත්තාත් ඇවිත් බලලා කිව්වේ කරන්ට් එක ගිහින් වගේය කියලා.. දැන් ඉතින් මොනා කරන්නද.. ඉස්කෝලෙ යන්නත් පරක්කු වෙන නිසා අම්මා මගේ අතට ඉටි පන්දමක් දීලා කිව්වා මූණ හෝදගෙන එන්නයි කියලා..මමත් ඉතින් ඉටි පන්දමත් අතින් අරගෙනම නාන කාමරේට ගොඩ උනා.. ඒ ගමන ඉටි පන්දම තියන්න තැනක් නෑ..සින්ක් එක උඩින් තිබ්බාට පේන්නෙත් නෑ.. ඒක හින්දා කණ්ණාඩියට පහලින් විසිතුරු බඩු තියන්න හදලා තිබුන වීදුරු පඩිය උඩින් ඉටි පන්දම තියලා බලද්දි එතන නම් හොදයි වගේ.. ගානට එලිය විහිදෙනවා..ඒක එතනින් තියලා ගොතලා තිබුන කොන්ඩේ උඩට කරලා කට්ටක් ගහගෙන මම පහත් උනේ මූණ හෝද ගන්න.. ටික වෙලාවක් යනකොට මට නිකන් තේරෙනවා එලිය වැඩි වෙන ගතියක් වගේ..කරන්ට් එක ආවාවත්දෝ කියලා ඔලුව උස්සල කණ්නාඩියෙන් බලද්දි මොකද.. බලන්න දෙයක් නෑ උස්සලා ගහ ගත්තු කොන්ඩේ අගිස්ස ගිනි ගන්නවා....අපෝයි මම බය වෙච්චි බය විල්ලක්.. මම දැන් කණ්නාඩියෙන් බලාගෙන බෙරිහන් දෙනවා..අම්මේ අම්මේ මගේ කොණ්ඩේ කියලා.. ගිනි ගන්න අගිස්ස නිමා ගන්නවත් කල්පනාවක් නෑ මට.. අම්මාත් කරුවලේ දඩ බඩ ගාලා දුවන් ඇවිත් මගේ ඔලුව ඇල්ලුවා ටැප් එකට...හප්පේ ගන්දනාවේ බෑ පිච්චුන කොන්ඩේ..වෙලාව කියන්නේ පිච්චිලා තියෙන්නේ කොන්ඩේ අගිස්ස.. මැදින් හෙම පිච්චුනා නම් මම ඉදලා හමාරයි.. කොන්ඩේ පිච්චුනා මදිවට අම්මාගෙනුත් බැනුම් අහපියව්කෝ ඉතින් කරන්නන් වාලේ වැඩ කරනවා කල්පනාවක් නැතුව කියලා..කවුද වගේ උඩ පැන පැන උන්නේ කොන්ඩෙට වතුර අල්ලලා නිමා ගන්නේ නැතුව.. බ්ලා.. බ්ලා.. අම්මා නම් කියයි. මම බය වෙච්ච බය විල්ල මම නේ දන්නේ... ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් මට වුනේ..

Monday, May 9, 2011

සිහිනය වී ඔබ..


අරමුණක් නැති ජීවිතයක්..
අකලේ ගලා යන..
බාධක තිබුනත්..
ගල් පර තිබුනත්...
සම නෑ ගඟකට...
සුදු, පෙණකැටි විසිරෙන...
සම නෑ ගඟකට..
සයුර සොයා යන..

සැබෑ නොවෙනා හීනයක්..
හොරෙන් දුටුව සිත..
සතුට ලැබුවත්...
පහස ලැබුවත්..
සම නෑ ඔබේ ආදරයට...
ලගින් හිද සනසන..
සුසුමකට ලඟ..
සම නෑ ඔබේ ආදරයට..
ජීවිතය දෙන..
පැතුම් ගෙන දෙන..

ගඟක අරමුණ සයුරු තෙරමය...
ජීවිත අරමුණ ඔබ වෙලා අද..
ගඟකට සම කල නොහැකි ජීවෙක..
කිසිදා නොදකින සයුරු තෙර ඔබ..

සිහිනෙක අරමුණ සැබෑ වීමය..
නොපියූ නෙත් අග සිහිනය වී ඔබ..
කිසි දින සැබෑ නොවන සිහිනෙක..
නෙත් යුග පිනවූ මිරිගුව වී ඔබ...

Thursday, May 5, 2011

ෂෝ එක IV ..


මතකයිනේ ගිය සැරේ නවත්තපු තැන.. අර දැකුම්කලු මට මොනාද කියන්න සැරසුනේ.. එන්න එතන ඉදන් තමා අද ...

----------------------------------------------------------------------------------------------
අහම්බෙන් බලපු බැලිල්ලට එකටම මුලිච්චි උනේ දැකුම්කලුගේ මූණ.. දැකුම්කලූ මොනාද කියන්න සැරසෙනකොටම මම පටස් ගාලා අහක බලා ගත්තේ නොදැකපු ගානට.. නටාගෙන නටාගෙන එනකොට පැති මාරු වෙනවානේ.. ආයේම කොහොම හරි අර මනුස්සයවම මුලිච්චි වෙනවා..මොනාද කියන්න කට හදනකොටම මම නිකන් මට නෙමේ වගේ අහකබලා ගත්තාට මොකද මගෙත් හිතේ කුතුහලේ මෙයා මේ මොනා කියන්න හදනවාද කියලා.. හිමීට හිතුවක්කාරිගේ කනට කිට්ටු වෙලා මම විස්තරේ කියනවා දැන්..
" මේ අර මනුස්සයා මට මොනාද කියනවා නේ "
"හ්ම් හ්ම් මාත් දැක්කා.. පව් හලෝ.. කියද්දිම අහක බලන්න එපා.. " ඒ ගමන හිතුවක්කාරි මාව විහිලුවට අරගෙන..
" මේ මං දන්නේ නෑ ඔව්වා.. මම නම් ආයේ බලන්නේ නෑ.. "
"හෙහේ.. අපේ පාඩුවේ නටමු.. කියන එකක් කියන්නෙ නැතැයි.. "

එහෙම කියලා අපි දෙන්නා ඉතින් අතින් අල්ලගෙන පොඩි කපල් ඩාන්ස් එකක් දැම්මා.. ආපු වෙලේ ඉදන් නටලා හෙන මහන්සියි.. ඒ උනාට නටන එක නවත්තන්න හිතෙන්නෙත් නෑ යන සිංදු අහනකොට.. අපරාදේනේ එකක් හරි මිස් උනොත්..දෙපාරක් කියන්නේ නෑනේ අප්පා.. ඒ අස්සෙන් හිතුවක්කාරි එලියේ සීත හින්දා ඇදන් ගිහින් තියෙන්නෙ අත් දිග එකක්, දාඩිය දානවා කිය කිය නටනවා.. ඇත්තටම එතන මාර රස්නයක් තිබ්බේ.. කට්ටිය වැඩි නිසා වෙන්න ඕනේ.. මම නම් කඩන් ගිය කොන්ඩෙත් අල්ලලා බැද ගත්තා.. නැත්නම් නිකන් කෙස් මැල්ලුම් කනවා වගේ..

ටික වෙලාවකින් ආයෙම දැකුම් කලු .. හපෝ මෙයා නම් දවසේ නලුවා වෙන්න ට්‍රයි කරනවද කොහෙද.. ඒ ගමන තව යාලුවෙකුත් ඉන්නවා..යාලුවාගේ අතේ මොකක්ද කොලේකුත් තියෙනවා.. හිතුවක්කාරි ඒ පැත්ත බලද්දිම අර කොලුවා අතේ තිබ්බ කොලේ අපේ පැත්තට දමලා විසික් කරා.. හික් හික්.. හිතන්න ඇති අපි ඇහිද ගනී කියලා.. අයියෝ අර අසරණ කොලේ.. කී දෙනෙකුගේ කකුල් වලට යට වෙන්න අද්ද.. කෙනෙකුට පෑගෙනවා පැත්තට විසික් වෙනවා.. හොදම වැඩේ කියන්නේ දැකුම්කලුගේ යාලුවා කොලේ ඇහිදින්න කකුල් අස්සේ රස්තියාදු වෙනවා... අත කී දෙනෙක් පෑගුවාද දන්නේ නෑ..කොහොම හරි සෑහෙන්න රස්තියාදු වෙලා කොලුවා ආයෙම කොලේ ගත්ත අතට...
මෙච්චර මහන්සි වෙලාත් වැඩේ අතාරින පාටක් නෑ.. කොලෙත් අරන් ටිකක් දුරින් නට නට උන්න මනුස්සයෝ දෙන්නා මෙන්න බොලේ අපේ පිටිපස්සේ... ආයෙම විසික් කරා කොලේ අපේ පැත්තට හරියට කුණු මාලු කෑල්ලක් වගේ.. ගන්න පාටක් නැතිම හින්දා යාලුව ඇවිත් හිට ගත්තා අපෙ හිතුවක්කාරිට එහා පැත්තෙන් (එතකොට කොලේ හිතුවක්කාරිගේ දෙපා මුල )...
" නංගි ඔය වැටිලා තියෙන කොලේ ටිකක් අරන් දෙනවද ?? "
එදාපාර නම් හිතුවක්කාරි කොලේ ගත්තා අතට..
" ආ.. මෙන්න අයියේ " අයියෝ කොලුවට හෙනම චාටර්.. හිතුවද දන්නේත් නෑ මේ වගේ කෙල්ලෝ කියලා.. හික් හික්..
" නංගි ඕක ඔයාට .. තියාගන්න "
අනේ මට ඕනේ නෑ කියන්නා වගේ හිතුවක්කාරිත් කොලුවා බලන් ඉද්දිම කොලේ විසික් කරලා දැම්මා.. කොලුවගේ මූණ ඇඹුල් උනේ බලන් ඉද්දිමයි.. අනික විසික් කරපු එකත් හොදට ගියා.. මොකද කියනවා නම් මුලු සීන් එකම අක්කා බලන් ඉන්නවා කියලා දැක්කේ පස්සේ... එයාත් පිපිරි පිපිරි බලන් ඉන්නවා කොලුවෝ දෙන්නා දිහාව.. දැකුම්කලුගේ යාලුවාත් ඩෝං ගාලා පසු බැස්සා.. බලාපොරොත්තු සුන් කරගෙනම.. පව් අප්පා..

------------------------------------------------------------------------------------------
මෙහෙත් ඉතින් ලංකාව වගේමයි.. හරියටම දොලහ වෙනකොට ඕනාම සංගීත සන්දර්ශනයක් නවත්වන්න ඕනේ.. දැන් නම් ලංකාවේ ඒ නීතිය තියෙනවාදත් මන්දා.. මොනා උනත් මහ එපා කරපු නීතියක්.. හොදම හරිය එනකොට නවත්වන්න වෙලාව හරි යනවා.. එදත් ඉතින් එහෙමයි.. හරියට දොලහ වෙනකොට ජාතික ගීය කියලා සංදර්ශනේ ඉවරත් කරා..අනේ අම්මපා සමහරු ජාතික ගීයටත් නටනවා.. සිහියක් පතක් නෑ..

ඔන්න ඉතින් සේරම අවසානේ පටන් ගත්තේ විසිර යාම.. අපිට ටික වෙලාවක් ඇතුලෙම ඉන්න උනා සංගීත කණ්ඩායමේ අදුරන කෙනෙක් ඉන්නවයි කියලා අපේ නෑදෑ වෙන අයියා දුවපු හින්දා..මම නම් ඔය කාගෙවත් නම් අදුරන්නෙත් නෑ.. සංගීත් අයියාව නම් දන්නවා.. එයා ඉතින් නායකයානේ.. හෙහේ...
ශාලාවේ විසිර යන අය අතරේ ආයෙමත් දැකුම් කලු දර්ශනය වෙනවා.. මෙයා නම් දවසේ නලුවා තමයි.. අන්තිම උත්සහය.. ඈත ඉදන්.. " අපි යනවා " ලු.. අනේ පිංවන්ත හිනාව...
හපොයි ඕකත් අපේ අක්කා පැත්තක ඉදන් බලාගෙන.. ගත් කටටම " ඊ අර බලාපියව්කෝ.. යන්නම්ත් ලු.. පුහ්.. "
ඒක කියපු හැටිය අර කොලුවට ඇහුනා නම් පොලව පලාගෙන යනවා...

(කතාව තාම ඉවර නෑ හොදේ.. )

Wednesday, May 4, 2011

මීයෝ ඉන්නවාදෝ...


අද මම ඔයාලාට කියන්න යන්නේ මං පොඩි කාලේ සිද්ධ වෙච්චි දෙයක් ගැන.. මම ඒ කාලේ සෙල්ලම කොලුවෝ එක්කමයි.. ඒක හින්දා මගේ හොදම යාලුවත් පොඩි කොලුවෙක්.. අපේ නෑදෑයොත් වෙනවා.. අක්ෂරේ නම් මම දවසක් කියලාත් තියෙනවා අපි දෙන්නා එක්කහු උනාම කරන වැඩ ගැන.. මේකත් ඒ වගේම එකක් තමයි..

මම ඔය කිව්වේ අපේ චමි අයියා ගැන.. පොඩි දවස් වල දවසෙන් වැඩි හරියක්ම අපේ ගෙදර තමයි.. මේ සිද්ධිය වෙච්ච දවස් වල නම් අපි එච්චරම පොඩි නෑ.. චමි අයියාට ඇති අවුරුදු දාසයක් විතර.. ඔන්න එදත් වෙනදා පුරුද්දට උදේ පාන්දරම බයිසිකලේ නැගිලා චමි අයියා ආවා කඩාගෙන බිදගෙන.. ඔය අහලක පහලක හිටියොත් හෙම අනිවාරෙන් යට කරන් යනවා.. ඔන්න කන ගාවින් හරවලා ගන්නවා කියලා කන ගාවින් කෙසේ වෙතත් කකුල උඩින් හරි යනවා.. මම නම් අහලකවත් ඉන්නෙ නෑ ඔය වෙලේට.. එක දවසක් මාවත් බයිසිකලේ නග්ගගෙන කනේ වැලි ගෑවෙන්න හරවන්න ගිහින් ගහක හප්ප ගත්ත දවසේ ඉදන් මම නම් නෙමේ ඔය බයිසිකලේ අහලකටවත් යන්නේ.. එනකොට එන්නේ ගම හොල්ලගෙන ඒ උනාට මොකද කලුවර වැටිච්ච වෙලේට එලියට බහින්නත් බයයි..සමහර දවස් වලට වීරයා වගේ රෑ වෙනකන් අපේ දිහා ඉදලා ගෙදර ගිහින් අරින්න වෙන්නේ අපේ අම්මාට.. හික් හික්..

ඔන්න ඉතින් එදත් ආවයි කියමුකෝ... අපේ පිලට වෙලා මාත් එක්ක හබ කර කර ඉන්න ගමන් අපේ සිවිලිමෙන් ඇහෙනවා දඩ බඩස් ගාලා සද්දයක්..ඒ දවස් වල අපේ සිවිලිම ගහලා ඉවරයක් කරලා තිබුනේ නෑ.. එලියෙන් තව වැඩ ඉවර කරන්න ඉතිරි වෙලා තිබුනේ... ඔන්න දැන් ඇහෙනවා චීස් බීස්.. දඩ බඩ ගගා නිකන් දුවනවා වගේ සද්දයක්... චමි අයියා ගත් කටටම කිව්වා මීයෝ වෙන්න ඕනේ කියලා.. සද්දේ හැටියට නම් මටත් එහෙමයි හිතුනේ..අපේ අම්මාත් උන්නා ඔතන.. චමි අයියා නිකන් වැඩකාරයා වගේ අපේ අම්මාට කියනවා නැන්දේ ශුවර් එකට ඔය මීයෝ.. මම ටිකක් උඩට නැගල බලන්නම්.. හා ද එපා ද කියන්නත් කලින් මෙන්න බොලේ මෙයා යනවා නේද ඉනිමගත් අරගෙන.. මටත් දන්න දවස් වල ඉදන්ම තිබ්බා වහලට නැගීමේ ආසාවක්.. කොහෙද ඉතින් අපේ අම්මා එක්ක බෑ නේ...ඒක හින්දා මම එලියට ගිහින් බලන් ඉන්නවා චමි අයියා වහලට නගිනකන්.. දැන් එයත් සිවිලිමට නැගලා බරට බරට අඩි තියන සද්දෙත් ඇහෙනවා.. මම ඉතින් බිම ඉදන් කෑ ගහනවා මොනාද චමි අයියේ උඩ තියෙන්නේ?? මීයෝ ඉන්නවාදෝ කියලා.. මෙයා ඉතින් උඩ ඉදන් මාව අවුස්සනවා අම්මෝ මේ බලනවා හෙනට මීයෝ.. මේ මූණ දිහා බලන් ඉන්නවයි කියලා.. ඔහොම කියාගෙන මෙයා ඉස්සරහට ඉස්සරහට යනවා..ටික වෙලාවකින් සද්දෙකුත් නෑ මෙයාගේ.. මම තවම කටත් ඇරන් උඩ බලන් ඉන්නවා දැන් එයිදෝ දැන් එයිදෝ කියලා..ඔහොම ටික වෙලාවක් යනකොට දඩබඩස් ගාලා සද්දෙකුත් එක්ක චමි අයියා අම්මේ කියලා කෑ ගහනවා වගේ ඇහුනා...මමත් කැරකිලා ගෙදර අනිත් පැත්තට දුවන් යද්දි මෙන්න බොලේ චමි අයියා කුස්සිය මැද්දේ.. නහයත් බිම ඇනිලා.. බැලින්නම් මේ යකාව සිවිලිම කඩාගෙන කුස්සිය මැදට වැටිලා..තුවාල නම් වෙලා නෑ.. ඒත් නහය බිම ඇනිලා.. මට මැරෙන්න හිනා.. මොකද මැට්ටියේ හිනා වෙන්නේ මීයෙක් නිකන් ඇගට වගේ ආවානේ තරහෙන් පුපුර පුපුර නැගිටින ගමන් චමි අයියා කිව්ව විදියට මට තවත් හිනා...

ඔන්න ඉතින් බලන්නකෝ මීයෝ මූණ දිහා බලන් ඉන්නවයි කියලා මට කියලා මීයෙක් දැක්ක ගමන් මෙයා සිවිලිමත් කඩාගෙන බිම.. ඒ උනාට ගියේ කොහොමද උඩ උන්න මීයෝ සේරම අල්ලන්න පුලුවන් මනුස්සයා වගේ...බැරි වැඩ නොකරන් හබරෝ කිව්වලු.. හික් හික්..

Sunday, May 1, 2011

ෂෝ එක III


ඔයාලාට මතක ඇති නේ ගිය සැරේ ෂෝ එක II පෝස්ට් එකෙන් ඔයාලාට සිද්ධිය ගැන කිව්වා... අපේ හිතුවක්කාරිත් කොමල පපා අර කලු උනත් දැකුම්කලු කොලුවා එක්ක පොඩි හිනාවක් දාපු එක... මතක නැත්නම් මෙතනට ගිහින් බලන්නලාකෝ...

------------------------------------------------------------------------------------------

මමත් ඉතින් වේදිකාවේ ෂෝ එකයි, මට පිටිපස්සේ ෂෝ එකයි බලන ගමන් මගේ පාඩුවේ නට නට උන්නා... අනේ මන්දා හිතුවක්කාරිගේ බෙල්ල ගහලා ගියේ නැති ටික විතරයි.. හිටු කියලා නටන ගමන්ම අර පිටිපස්සේ ෂෝ එකත් කොහොම බැලුවද මන්දා .. මට ඉතින් මගේ බෙල්ල වටිනවා නේ.. ඒක හින්දා ටික වෙලාවක් යනකන් පිටිපස්සේ ෂෝ එක බලලා පස්සේ වැඩේ අතෑරලා දැම්මා..

ඔන්න ඊලඟ බාල්දිය අපේ හිතුවක්කාරිට... අපේ පිටිපස්සට වෙන්න නට නට උන්නා අංකල්ලා ටිකක්.. ඒ කස්ටියම මදි නොකියන්න නටනවා.. නිකන් නෙමේ වැනි වැනි නටනවා..ටිකක් නටනවා බාර් එක පැත්තේ රවුමක් දානවා .. ආයේ එනවා හිටු කියලා නටනවා.. ඔතන උන්නා තට්ට අංකල් කෙනෙක්.. මේ මනුස්සයා අනේ හොදට නට නට උන්න මනුස්සයා..එක පාරටම ගල් උනා වගේ කෙලින් හිට ගත්තා.. දැන හාත් නෑ හූත් නෑ... අපිට ඉතින් එයාගෙන් වැඩක් නෑ නේ.. අපි අපේ පාඩුවේ අපේ වැඩේ කරගෙන යනවා ( නටන එක ) .. අර ගල් උන අංකල් ටික වෙලාවක් හොද...ට අපි නටන දිහාවත් බලන් උන්නා ඉතින්..අපිට හිතාගන්නත් බෑ මේකේ මෙච්චර බලන්න තරම් මොනා තියෙනවාද කියලා.. අපිට මොකෝ අපි නටනවා..මේ මනුස්සයා හිටපු ගමන් නිකන් ක්වික් උනා වගේ.. අත් දෙක දිග ඇරලා පැන්නා නේද මායි හිතුවක්කාරියි මැදට.. මම දඩස් ගාල පැන්නා අහකට.. අපේ හිතුවක්කාරි මොට්ටයා වගේ බලන් ඉන්නවා.( සමහරවිට කරගන්න දෙයක් හිතාගන්න බැරුව යන්න ඇති ).. දැන් අර අංකල් ඇඟටම එනවා..හිතුවක්කාරිගේ හොද වෙලාවට අපේ මස්සිනා පොඩ්ඩගේ යාලුවෙක් ඉදලා ඇදලා ගත්තා පැත්තකට.. හික්.. ඊලගට තමා හොදම හරිය.. දැන් මස්සිනාගේ යාලුවා, එයාට අපි නිමේශ් කියමුකෝ.. හිතුවක්කාරිගේ ඇදලා ගත්තු අත අල්ලගෙන ඔහොමම නටනවා.. කරකවලා ගන්නවා .. ඈතට විසි කරනවා...නිමේශ් අයියාගේ නෝනා මහත්මිය පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා... අම්මේ ඒ ඇස් දෙකේ බැල්ම පිච්චෙන සයිස් අප්පා.. නිමේශ් අයියාට ඉතින් ඕක ගානක් නෑ ( ගානක් නෑ නෙමේ දැක්කේ නෑ.. දැක්කනම් ඉතින් පටස් ගාල අත අතාරිනවා නෝමල් එකේ .. හික් හික්.. ).. කරකවලා ගත්ත පාරට අපේ හිතුවක්කාරිට ගැටුනා පිච්චෙන නෝනාගේ දෙනෙත්.. අම්මේ එවෙලේ බලන්න වටිනවා අප්පා හිතුවක්කාරිගේ මූණ මැලවිලා ගිය හැටි.. මට පැත්තක ඉදන් හිනා... ඊලඟට හිතුවක්කාරි බොහෝම අසරණ විලාසයෙන් මං දිහාව බලනවා හරියට " අනේ ඉශ්වියෝ මාව බේරගන්න " කියනවා වගේ.. මටත් ඉතින් බලන් ඉන්න බෑ දුකා....යි..... හිමීට දෙන්නා මැදට පැනලා හිතුවක්කාරිව ඇදගෙන ආව මං ගාවට... ඒත් මට හිනාව නවත්ත ගන්න බෑ.. අර අක්කගේ මූණ මතක් වෙන මතක් වෙන සැරේට හිනා යනවා...
" මොකද නිකන් කවුද වගේ හිනා වෙන්නේ.. නවත්තගන්නවකෝ ඕක.. "
" හිහිහි.. මේ නිම්ෂෝ දැක්කාද අරයාගේ මූණ... අනේ මන්දා පවුල් කඩාකප්පල් කරන වැඩ නේ කරන්නේ.. හික් හික් "
" අනේ මේ මගෙන් මොකුත් අහගන්න එපා " එහෙම කියලා අල්ලගෙන උන්න අත මිරිකලා ඇරියේ අපේ හිතුවක්කාරි...
" මේ ඔයාටත් තේරුනාද නිම්ෂෝ මට තේරුණ එක?? " මම එහෙම ඇහුවේ හිතුවක්කාරිව අවුස්සන්න හිතාගෙන..
" මොනාද ??? "
" අද ඔයා එලියට බැහැපු වෙලේ ඉදන් සිකුරා ලබලාද කොහෙද.. කොල්ලෝ විතරක් නෙමේ අංකල්ලත් ට්‍රයි නේ.. අහ්හහා.." එදා පාර නම් මම ගුටියක්ම කෑවා..

-----------------------------------------------------------------------------------------------

දැන් නම් කට්ටියට නටලා නටලා හරිම අමාරුයි.. මටත් නිකන් ඉනේ එක පැත්තක් උලුක් වෙලා වගේ.. උලුක් වෙලාමත් නෙමේ.. අනේ මට ඒක කියන්න තේරෙන්නේ නෑ..කොහොම හරි.. අපේ කට්ටිය කතා උනා බාත් රූම් එක පැත්තේ හෙම ගිහින් මොනා හරි බීලත් එන්න...යනකොටත් මං බලාගෙන දැකුම්කලු කොලුවා බෙල්ල කඩාගෙන අපේ පැත්ත බලනවා..සෙනඟ අස්සේ කවලම් වෙලා අපිව නොපෙනී යනකන්ම බෙල්ල දික් කරාගෙන උන්නා.. අනේ පව් අප්පා...

අපි බීම එකක් හෙම අරගෙන එනකොට නම් හැබයි කොලුවා අතුරුදහන්.. සමහරවිට අපි නැති හින්දා වෙන තැනකට මාරු වෙලාද කොහෙද... හිතුවක්කාරිට නම් එදා සිකුරුයි සිකුරා ලබලා.. කොහෙද උන්න කැමරා කාරයෙකුත් බලනවා.. අපෝ විකාරේ.. කැත නම් නෑ හැබැයි.. පස්සේ ආරංචි උනා බැදපු මනුස්සයෙක්ය කියලා...පේනවා නේද නෝනා ගෙදර තියලා එදා නටපු නාඩගම...

අනේ බීම එකේ පිහිටෙන් අපිත් ආයෙම නටනවා.. බීම කිව්වාට සිසිල් බීම හොදේ..නිකමට වගේ මට පිටිපස්ස බැලුනේ අහම්බෙන් වගේ..ඇහ් මෙන්න බොලේ දැකුම් කලු ආයෙම.. වෙලාවට මම බලද්දිම තමා ඒ මනුස්සයත් මං උන්න දිහාව බැලුවේ.. ඕඕඕ.. :O !! ඒ ගමන මට මොනාද කියනවා... මම නිකන් ඩෝං ගාලා අහක බලාගත්තේ නොදැක්ක විදියට.. ඒ ගමන දැකුම්කලු මොකටද එන්න හදන්නේ... ?? o.O