Friday, April 29, 2011

හැකිනම්....


හැකිනම් සිත මා පා කර හරින්න..
සීතල සුලං රැල්ලක් සේ..
සිසිලස දෙන්නම් ඇවිලෙන සිතකට...
නිවෙන්න දුක් ගිනි දැවෙන සිතේ..

හැකිනම් දකින්න ලෝකෙම එකවර..
අවකාශෙන් පිට සඳවත සේ..
ඒලිය ගෙනෙන්නම් සැමදා එක ලෙස..
අමාවක සඳක් නොමැති ලෙසේ..

හැකිනම් යන්නට අතීත මතකෙට..
පැටලුව පා පොඩි පුංචි කලේ..
ඉගිලී යන්නම් කිරිල්ලියක සේ..
නිදහස සොයලා ජීවිතයේ...

Thursday, April 28, 2011

හැදූ මවක් II ..


"හ්ම්ම්ම්.... දුව දන්නවාද මම දුවලාගේ තාත්තා එක්ක එනකොට මට මගේය කියලා තිබුනේ ඇදන් උන්න වස්තරේ විතරයි... දුවගේ ආච්චි අම්මා මැරෙනකොට මට අවුරුදු දොලහක් දහතුනක් ඇති...ලොකු තාත්තා එක්ක මං තනි උනාම ගෙදර පන්නෙ පදවිය මට පුරුද්දකට ගියේ ඉබේමයි.. කන්න බොන්න අඩුවක් නොකලත් ඉස්තරම් විදියට අදින්න පලදින්න දෙන්න දූගේ ලොකු තාත්තාට වත්කමක් තිබුනේ නෑ.. හරිම දුප්පත් විදියට වගේම බොහෝම අරපිරිමැස්මෙන් තමයි අපි ජීවත් උනේ.. ඒ මොනවා උනත් තාත්තා කෙනෙකුට අමාරුයි නැති උන අම්මා කෙනෙකුගේ ආදරය දරුවෙක්ට දෙන්න.. ගොඩක් වෙලාවට දූගේ ලොකු තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවම තේ එකේ ඉදන්ම ලඟට ගිහින් දුන්නාට වැඩි කතාබහක් හෙම නෑ...කෑවද බිව්වද ඇරෙන්න අම්මා කෙනෙක් වගේ දුවකගේ දේවල් හොයා බලන්න තාත්තලාට දැනුමක් නෑ..ඔය විදියට බොහෝම හුදකලා ජීවිතයක් ගත කරද්දි තමයි මට දූගේ තාත්තාව හම්බ උනේ.. එයාත් එක්ක ආවයින් පස්සේ තමා මම සැපක් වින්දේ.. ඒකට මම දුවගේ තාත්තාට ණයගැතියි.. මම කවදත් ඒ මනුස්සයාට ගරු කරන්නේ ඒ නිසා..වැඩිම කාලයක් ගෙදරින් පිට ගත කලා උනාට දූගේ තාත්තා මට කිසිම අඩුපාඩුවක් කරේ නෑ..ඒත් අවාසනාවට පින දෙන්න බෑ කියනවානේ..ටික කාලයක් යනකොට තාත්තා මගෙන් ඈත් වෙන්න ගත්තා..අපි අතර ගොඩක් ප්‍රශ්න ඇති උනේ නොහිතපු විදියට.. එතකොට දුව අපිත් එක්ක නෑ.. ඒ හැම විරසක කමටම හේතුව උනේ මම.. හැමදේම උනේ මගේ වරදින්.. මම ඒ තරම්ම කාලකන්නි ගෑණියක්... විදවලා විදවලා අන්තිමට ලැබුන සැප විදින්න තරම් මං පින් කරල නැතුව ඇති.."

මගේ අත හයියෙන් අල්ලලා තද කරගන්න ගමන් අම්මා අඩන්න පටන් ගත්තේ මම කවදාවත් නොදැකපු විදියට..මට මේ කිසි දෙයක් අගක් මුලක් අමුන ගන්නවා තියා කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ගොලු වෙලා උන්නේ ප්‍රශ්න ගොඩාක් මැද...
"අනේ අම්මේ ඇයි මේ..." ඇගේ දෙනෙතින් වැටෙන කදුලු මට පුරුදු දෙයක් උනේ නෑ ..දැවීගෙන ආපු කදුලු බිදුවකින් මගේද ඇස් තෙත් උනේ මටත් නොදැනිමයි..

" ඔව් මගේ දුවේ මං ගිය ආත්මේ ඒ තරම්ම පව් කරපු ගෑනියක් වෙන්න ඇති..මට එච්චර සැපක් , ජීවිතේට නොදැනුන නිදහසක් ලබා දුන්න ඒ මනුස්සයාට කළගුණ සලකනවා තියා මගේම පවුල වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරි වෙච්ච එක ගැන මට අදටත් මං ගැන ඇති වෙන්නෙ තරහක්..කොයි තරම් දෙයියන්ට කියන්න ඇතිද මගෙ දුක.. ඒත් මට වාසනාව තිබුනේ නෑ.. තමන්ගෙයි කියලා කුසෙන් වදපු දරුවෙකුගේ හුරතල් බලන්න මට වාසනාව තිබුනේ නෑ දූ.. "
පපුව හිරකරගෙන ආපු දුකකුත් එක්ක මට හිතුනේ කෑ ගහලා අඩන්න..දෙයියනේ එතකොට මං.. ??
" අම්මේ ඔයා මොනවාද මේ කියන්නේ.. මට මේ මොකුත් තේරෙන්නෙ නෑ දෙයියනේ.. "

" ඔව් දුව ඔයා වගේ ලස්සන පුංචි දරුවෙකුගේ අම්මා වෙන්න මට වාසනාව තිබුනේ නෑ..ඒත් මම ඔයාගෙම අම්මා නොවුනට ඒ ඔයාගෙම තාත්තා.. ගෙදරින් පිට ඇති වෙච්ච සම්බන්ධයක් නිසා තමයි අද ඔයා මං ගාව ඉන්නේ..ඔයාගේ තාත්තා හැමදාමත් කෙලින් කතා කරපු මනුස්සයෙක්.. කවදාවත් මට මොකුත් හැංගුවේ නෑ.. අඩු තරමේ මේ දේ උනත්.. එයාට වචනයක්වත් කියන්න මට පුලුවන් කමක් තිබුනේ නෑ...
ඔයාහේ අම්මා මට තවමත් මතකයි.. මම වගේම හරිම දුප්පත්..ඔයා වගේම ලස්සනයි.. ඒත් ඔයා වගේ අහිංසක පුංචි දරුවෙක්ව ප්‍රතික්ෂේප කරන්න හේතුව මට අදටත් තේරෙන්නේ නෑ..ඔයාගේ අම්මා වාසනාව තිබිලාත් ඒකට පයින් ගහද්දි මට මං ගැන ඇති උනේ දුකක්..මම ඔයාගේ තාත්තාගෙන් එක එල්ලේම ඉල්ලලා උන්නේ ඔයාව..හදා ගත්ත දරුවෙකුට හරි අම්මා කෙනෙක් වෙන්න මගේ හිතේ තිබුනේ ලොකූ ආසාවක්..ඔයාව පලවෙනි දවසෙම දැක්කාම මම ඔයාව අතට ගත්තේ හොද අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුව ඇතුව...පාලුවට ගිහින් තිබුන ගෙදරට එලියක් වැටුනේ දුව ආවයින් පස්සේ..හැමදේම වෙනස් උනා.. දවසින් දවස දුව මට ලං වෙනකොට හිතට දැනුනේ සැනසීමක්..මට පලවෙනියටම අම්මා කියලා දූ කතා කරපු දවස මට තාමත් අද වගේ මතකයි..මම දුව වැදූ අම්මා නොවුනාට එදා මගේ හිතට දැනුන මගේය කියන කමට හැදූ වැදූ වෙනසක් දැනුනේ නෑ...දුවත් එක්ක මං සතුටින් ඉන්නවා බලලා තාත්තාගේ හිතේ තිබුන සතුටත් හංගන්න බැරි උනා.. හැමදේම අමතක කරලා අපි දුවත් එක්ක සතුටින් ඉන්න උත්සහ කලත් ඒ උත්සහය වැඩිකල් යන්න ඉස්සරම අසාර්ථක උනේ දුව තාත්තාගෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගත්තාම..මටත් වඩා දුව ගැන අයිතියක් තිබුනේ දූගේ තාත්තාට, ඒත් පුංචි කාලේ ඉදන්ම දුව හැදුනේ මාත් එක්ක..දුවව මගෙන් ඈත් කරන්න කාටත් පුලුවන් කමක් තිබුනේ නෑ..මම එහෙම වෙන්න කවදාවත් ඉඩ දුන්නෙත් නෑ.. මම හිතනවා මම හරි ඇති කියලා.. බලන් ඉන්න කෙනෙක්ට කියන්න පුලුවන් මම ආත්මාර්ථකාමී උනාය කියලා.ඒත් දුව මම ජීවත් උනෙත් මගෙ දුව වෙනුවෙන් විතරයි.. මට ජීවත් වෙන්න හේතුවක් හදා දුන්නේ මගෙ දුව.. මට ඒක නැති කරගන්න තරම් ශක්තියක් තිබුනේ නෑ දුව..ඔයාගේ තාත්තාට පවා පිටුපාන්න සිද්ධ උනේ ඒ හේතුව නිසා..පුංචි කාලේ ඔයාව එපායි කියල අහකට දාපු ඔයාගේ අම්මාට අවුරුදු ගානකට පස්සේ උනත් ඔයා ගැන ඕනා කමක් ඇති වෙන්නේ කොහොමද දුව.. ඒක එහෙම වෙන්න බෑ .. ඔයාව මම හැදුවේ මලක් වගේ.. මම කොහොමද හිත හදාගෙන ඔයාව වෙන කෙනෙක්ට බාර දෙන්නේ.. මට ඒ දේ කරන්න බෑ දුව...ඒක නිසා ඔයාගේ තාත්තා මාවයි ඔයාවයි තනි කරලා ගියා ඔයාගෙම අම්මා ලඟට..එවෙලේ මගේ එකම ශක්තිය බලාපොරොත්තුව උනේ දුව..
මම දන්නවා දුව මෙච්චර කල් මම ගොඩාක් ආත්මාර්ථකාමි උනා.. ඒ වෙන මොකකටවත් නෙමේ ඔයාට තිබුන ආදරේ හින්දා..ඒත් දුව දැන් ලොකුයි.. හරි තීරණයක් ගන්න ඔයාට පුලුවන් කම තියෙනවා.. මම දුවට මේ දේවල් ගැන කිව්වේ හිතේ තියන් දුක් වෙන්න බැරි නිසා.. වෙලාවකට මට මං ගැනම වැරදිකාරියක් හැටියට හිතුන නිසා..දුවට හැමදාම මං ආදරේ අඩුවක් කරේ නෑ.. මට මගේම කියල ඉන්න එකම දූ ඔයා "

මගේ කනට ඇහෙන මේ වචන මම කවදාවත් බලාපොරොත්තුවෙන් උන්න දේවල් නෙමේ..හිත ගොඩාක් රිදුනා..ඒත් අම්මා ගැන මට ඇති වෙන්නේ දුකක්,, වැදූ අම්මා නොවුනත් මට කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව.. මුලු ජීවිතේම මං කරගත්තු මේ ගැහැණිය ගැන මට ඇති වෙන්නේ ගෞරවයක්...තමන්ගේම ලේ වෙලත් මගෙම තාත්තාට මං ගැන නැති කැක්කුමක් ඇයට ඇති උනේ කොහොමද කියන එක පුදුමයක්..

" අම්මේ ඔයා මට කිසිම දවසක කිසිම දේකින් වෙනසක් කරලා නෑ.. හැමදාම මං ලඟින්ම උන්නා.. එහෙව් එකේ අම්මා කොහොමද හිතුවේ මම මොන ඇත්ත දැනගත්තත් අම්මාව දාලා යයි කියලා.. නෑ අම්මේ නෑ.. මට ඕනේ නෑ මගෙ ඇත්ත අම්මා කවුද කියලා දැනගන්නවත්..මොකද මම දන්න දවසේ ඉදන් මගේ අම්මා ඔයා.. ඔයා විතරමයි.. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ අම්මේ..ඔයා අවංකයි..එහෙම කෙනෙක් කවදාවත් අවාසනාවන්ත වෙන්නෙ නෑ.. එහෙම හිතන්නවත් එපා.. " එවෙලේ අම්මාගේ මූණේ නැගුන හීන් හිනාවට මම හැමදාමත් ආදරෙයි..
" ඔව් .. මගේ දුව දැන් ලොකු වෙලා.. බලහල්ලාකෝ මටත් අවවාද දෙන හැටි " .. එසේ කියමින් හිස මත යැවූ දෑගිලි මට නුපුරුදු දෙයක් නෙමේ....

Tuesday, April 26, 2011

ෂෝ එක II ...


කලින් මම අපි ගිය සංගීත සන්දර්ශනේ වට පිටාව කොහොමද කියලා කිව්වානේ.. ඔන්න ඉතින් අපේ කට්ටියත් අර වයින් කරපු බෝනික්කෝ වගේ අමුතු අමුතු නැටුම් නටන අය අස්සෙන් අස්සෙන් රිංගගෙන ටිකක් ඉස්සරහට පැන ගත්තේ හොදට ගායකයින්ව හෙම පේන හින්දා..අපේ කට්ටිය කිව්වාට ගියේ කවුරු කවුරුද කිව්වෙත් නෑ නේ.. මායි, හිතුවක්කාරියි,අපේ අම්මායි තාත්තායි,අක්කයි මස්සිනයි.. ඒගොල්ලන්ගේ තව යාලු කපල් එකකුයි තමා ඔන්න එදා අපිත් එක්ක උන්නේ.. අහ් ඕනම කෙනා අමතක උනානේ.. තව අපේ නෑදෑ වෙන අයියා කෙනෙකුත් උන්නා.. අනේ අසරණයා පව් අප්පා හිතුවක්කාරිට ෆුල් ට්‍රයි එක..ඒත් ඉතින් අවාසනාවට මොනා කරන්නද, මොන විදියෙන් කිව්වත් අපේ හිතුවක්කාරි නෙමේ කොලුවට කැමති උනේ...දැන් ඉතින් කට්ටිය ඉස්සරහට වෙලා හිටගෙන වේදිකාව දිහා බලන් ඉන්නවා, මුලින් ඉතින් ටිකක් සාමාන්‍ය වේගවත් නැති සිංදු ටිකක් කිය කිය සංගීත කණ්ඩායමත් වෙලාව ඇර ඇර උන්නා.. මේ අතරවාරේ තමා ඊලග බාල්දිය පෙරලුනේ..

මමයි හිතුවක්කාරියිත් ඉතින් එවෙලේ කරන්න වෙන වැඩකුත් නැති හින්දා වටේ පිටේ ඉන්න උදවිය ගැන හෙම පොඩි කතාවක් දාන් ඉන්නවා.. මෙන්න බොලේ හිතපුවත් නැති විදියට පැන්නේ නැතැයි මාධ්‍ය අපි මැදට.. මාධ්‍ය කිව්වාට මොකෝ ඒක මේ ඉතාලියේ ඉන්න සිංහලයෝ ටිකක් එක්කහු වෙලා කරන පොඩි චැනල් එකක්.. ඇත්තම කියනවා නම් ඉතින් ඒක බලනකොට මරු සලිතේ හැදෙනවා.. වෙලාවකට සද්දේ නෑ, වෙලාවකට රූප නෑ.. මොකක් හරි අවුලක්...
වටපිට බල බල ඉදලා ඉස්සරහ බලනකොටම මෙන්න නහයේ ගෑවෙන්න ඔන්න මෙන්න දිග මයික් එකකුත් අල්ලන් නිවේදිකාවක්.. හපෝයි.. මගෙ දෙපැත්තේ උන්න හිතුවක්කාරිටයි අපේ අක්කාටයි වෙච්ච දෙයක් නෑ....මම එතන අසරණ උන හැටි දන්නේ මං විතරයි..
නිවේදිකාව : "ඔයාලට මේ වගේ අවස්තාවක් ගැන මොනාද හිතෙන්නේ?? "
අහ් දැන් ඉතින් කියපියව්කෝ.. මටත් වෙන වැඩ...
මම : " ම්ම්ම්ම්... අපිට හරි සංතෝසයි මේ වගේ අවස්තාවක් අපිටත් ලැබෙන එක ගැන.. හැමදාම නෑනේ.."
බය වෙලා වගේ මූණට කැමරාව එල්ල කරන් උන්න කැමරාකාරයා දිහාව බලලා මවාගත්ත හිනාවකුත් එක්ක මං කිව්වේ ඔන්න ඔහොමයි.. වචන අමුනලා එහෙම කියලා චාටර් නොවී ඒ වැඩේත් කොහොම හරි ඉවර කරගත්තා.. දාලා ගියා මදිවට තව හිනාවෙන්නත් එන අර දෙක ගැන ඇති උන තරහ කියන්න ඕනේ නෑ නෙ.. ඒ දෙන්නවත් හොද හැටි මතක් කර කර ඉන්නකොට තමයි කනට ඇහෙද්දිත් නිකන් නැටවෙන වගේ හොද වේග රිද්ම සිංදු ටිකක් කියන්න පටන් ගත්තේ.. එකටම අඩිය ටිකක් පොලොවේ හප්ප හප්ප උන්නට මොකද සිංදුවෙන් සිංදුවට නිකන්ම නැටවෙනවා වගේ..හිතුවක්කාරිත් මගේ අතේ එල්ලිලා නලිය නලිය උන්නේ නටා ගන්න බැරිකමට..

"අපරාදේ ඉශ්වියෝ හොදම සිංදු ටික නිකන්ම අපතේ යනවා.. අනේ... " එතන ඉදන් හිතුවක්කාරිගේ එකම ආන්දෝලනයයි...එහෙම ඉදලා නම් හරි යන්නේ නැති වග මටත් තේරිලයි තිබුනේ..මෙතන පොල් ගස් වගේ හිටන් ඉන්නයැ ආවේ..අන්න අරහේ අපේ වයසට වගේම ගැටිස්සියෝ ටිකක් අම්බානෙක නටනවාත් එක්ක..මෙහෙ ඉතින් ඔය වගේ තැනක ගිහින් නැටුවයි කියලා කිසිම අවුලක් නෑ.. එක වචනයක් කියන්න කවුරුත් නෑ.. මොකද ඒ වගේ වෙලාවට කට්ටියම එකතු වෙලා නටන හින්දා..ලංකාවෙනේ ඉතින් එහෙම ප්‍රශ්න.. එව්වා නම් මෙහේ නෑ ඕං...ටික වෙලාවක් යද්දි අපේ කට්ටියටත් පණ ඒගන එනවා,, එකටම නටන්න ගත්තේ අපේ නෑදෑ වෙනවයි කිව්ව අයියා..ඔන්න ඊලගට එක එකාව ඇදලා ගන්නත් පටන් ගත්තා.. අපිත් ඉතින් බෑ වගේ මූණක් දාන් උන්නට මොකද චාන්ස් එක එනකන් තමයි බලන් උන්නේ..

අහ් මෙන්න.. හිතුවක්කාරිට පොඩි තට්ටුවයි දුන්නේ නටනවා නේද වයින් කරලා තිබ්බා වගේ..මටත් මොකද එහෙනම් මාත් නටනවා කියලා ඇදන් උන්න ජැකට් එක ගලවලා ඉදගන උන්න අම්මලාට දීලා කට්ටිය මැදට පැන්නේ නටාගෙනමයි...අනේ අම්මපා.. කලින් සංගීතයක් නොදැක්කට මොකද හිතුවක්කාරි හරියට තිබ්බ එව්වා සේරම බලපු එකා වගේනේ නටන්නේ...එක හුස්මට ශලාවේ උන්න සේරමත් ලොකු පොඩි භේද නැතුව නටද්දි බලන් ඉන්නත් ආසයි.. ඇන්ටිලා කෙසේ වෙතත් අන්කල්ලා නම් කට්ටියම මදි නොකියන්න නටනවා...එක එක අයට ආවේණික ජාති ජාති නැටුම්.. බෝට්ටු පදින අයද,මල් නෙලන අයද, බෙද බෙද දුවන අයද, පොලව බදාගත්තු අයද , බඩගාන අයද, ඉගිල්ලෙන්න හදන අයගෙන්ද මුලු ශාලාවම පිරිලා තියෙන හැටි මතක් වෙද්දිත් හිනා..එක එක නැටුම් රසවිදින ගමන් මගෙ ඇහැ ගැටුනේ අපිට එහා උන්න පොඩි කොලුවෙකුට.. පොඩි කිව්වට ඉතින් ඒකගේ ඇති පොඩියක් නෑ.. ටිකක් කලුයි හැබැයි.. කලු උනාට ඒ දැකුම් කලු..ටිකක් ටිකක් අපේ පැත්ත බලනවා වගෙත් තේරුනා.. ඒත් අර පාට පාට ලයිට් අස්සේ කොහේ බලනවද හරියටම හොයන්නත් බෑ...
" ඒ නිම්ශෝ.. අර බලනවා.. අතන ඉන්න කොලුවා කලු උනාට හැන්ඩි නේ " මාත් ඉතින් ලෝබ නැතුව කිව්වේ මොනා උනත් ඉතින් ඇත්ත කියන්න එපෑනේ.. ඒක හින්ද..අම්මා.. එතකොටම හිතුවක්කාරිගේ මූණෙ දිස් උන එලියයි හිනාවයි නම් මට කොහොමත් ඇල්ලුවේ නෑ..
" මේ එයා මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලුවනේ.. අලේ ඔය ඇත්තමද කියන්නේ.. ඔයාටත් ලස්සනද?? මං කලින් කිව්වේ නැත්තේ කලු හින්ද උඹ කැතයි කියයි කියලා"
මට බැරි නම් යාලුවට හරි මොකෝ කියලා " ඇහ් ඉතින්.. දුන්නද ?? 0.O "
" පිස්සුද තාම නෑ.. ඒක අහපු කැත විතරක්..අනේ මේ ඔව්ව දෙන්න ගිහින් ආයේ දන්නවනේ.. අනේ අම්මෙහ් " ඒ හිතුවක්කාරි..
" හ්ම්ම්... මොනා උනත් ලස්සනයි හැබැයි " මටත් ඉතින් කට තියන් ඉන්න බෑනේ.. එහෙම කියලා පොඩ්ඩක් අපේ හිතුවක්කාරිව අවුස්සලා තිබ්බා ඔං... අපි නටන වැඩෙත් දිගටම කරගෙන යන ගමන් ඔහොම පොඩි කතාවකුත් දාගෙන උන්නා.. හැබැයි අර කොලුවා නම් අතාරින පාටක් නෑ.. මට දර්ශනය හරියටම පේන්නෙත් නෑ.. මොකද මං හිටියේ ඒ කට්ටියට පිටුපාලා... ඒ කට්ටියට පිටුපාලා හිටියා උනාට අපේ හිතුවක්කාරිගේ මූණ නම් මට හොදට දිස් වෙනවා..හහ්.. බලන්නේම ඒ පැත්ත.. මෙන්න බොලේ.. හිනාත් වෙනවා...අපිට හොරෙන් නම් ඔව්වා බොරු ඉතින්... මමත් හොදට හිතුවක්කාරිගේ මූණ දිහාවට ඇහැ ගහගෙනම උන්නේ ඒක හින්දමයි...

Monday, April 25, 2011

ෂෝ එක ...


ඔන්න තවත් හීනයක්...නෑ නෑ මේක නම් ඇත්තක්... කතාව කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙයිද මන්දා... ඇත්ත කතාවත් ඉතින් එහෙමනේ...පටන් ගත්තේ කොහෙන්වත් ඉවර උනේ තව කොහෙන්වත්.. හැමදාමත් වගේ කරුමේට ඉන්න පිරිමි ජාතිය හින්දා පෙරලුනු අහක යන බාල්දියක් ඕං මේක...

අපි එහෙනම් සිද්ධිය වෙච්ච මුල්ම දවසින් පටන් ගමු.. හීනේකින් වත් සංගීත සංදර්ශනයක් දැකලා නැති අපේ හිතුවක්කාරිට ජිවිතේ පලවෙනි සංගීත සංදර්ශනය පෙන්වීමේ පින කරගන්න ගිහින් තමයි මාත් කොහෙන්ද පාත් වුන මේ බාල්දියට සම්මාදම් උනේ..අපිට ඉතින් මේ වගේ අවස්තාවක් උදා වෙන්නේ කලාතුරකින් නේ... ඉතින් පෙරුම් පුරල පුරලා බලන් ඉදලා ඉතාලියේ මිලාන් නගරයට සනිධප සංගිත කණ්ඩායම එනවා කියන ආරංචිය අපේ කණටත් වැටුනා.. ඒක ඇහුනු වෙලේ ඉදලා අපේ ගෙදර උදවියත් හරිබරි ගැහිලා සූදානම් වෙලා උන්නේ ඔය එනවයි කියල කියපු දවසට හැමෝමත් එක්ක යන් කියලා.. මටත් ඉතින් මගේ නැට්ට නැතුව බෑනේ..ඔන්න එයාවත් අඩගහ ගත්තා යන් කියලා...මොකද ඉතින් සංගිත සංදර්ශනයක් වත් දැකලා තිබ්බ එකෙක් ‍යැ..

හරි හරි ඔන්න ඒ දවසත් ආවා කියමුකෝ...දැන් සංගිත සංදර්ශනේ පටන් ගන්න තිබ්බේ 8 ට ..අපි ඉතින් 5 ඉදන් වගේ සැරසෙනවා..කාලේකින් එන මේ අවස්තාවේ කවුද වගේ කඩන්පාත් වෙන්නත් බෑනේ ඉතින්..අනික මේ වගේ දෙයක් තියෙනවා කියන්නේ මුලු මිලානෝ නගරේයි ඒ අවට ගම් පලාත් වලයි සිංහල කස්ටිය ඉතින් නෑ බෑ නොකියා එතන තමා..අම්මෙහ්... එදා දවස ගැන කියනවා නම් දවසම බාල්දි දවසක් කිව්වොත් තමයි නිවැරදි... මුල්ම බැනුම අහගත්තේ මං තුමිය තමයි.. මොකද කියනවා නම් මේ අපි ගැනු උදවිය ලැස්ති වෙන්න ගියාම දන්නවනේ ඉතින්..පලවෙනි එකෙන් ශෙප් වෙන්නම බෑ.. දෙක තුනක් ඇදලා බලන එක මට පුරුද්දකට ගිහිල්ලා..අරක නම් කලින්ම එකක් තෝරන් සට පට ගාල ඇදන් බැබලි බැබලි ඉන්නවා..මට ඉතින් එහෙන් කුනු බැනුම් මෙහෙන් කුණු බැනුම්...
කොහොමින් කොහොම හරි ඔන්න වෙලාවට කෙසේ වෙතත් අවේලාවට අපේ මස්සිනා පොඩ්ඩ ආවේ අනේ ඉතින් අපි මතක් කරපු මතක් කිරිල්ලටම වෙන්න ඕනා...

ආපො..යි..ඔන්න ඊලග බාල්දිය ..යනකොටත් ටිකට් පෝලිම කාර් පාර්ක් එක ලගටත් වෙන්නම.. එක දකිද්දි මියුසිකල් ශෝ එකත් එපා වෙනවා...ආහ්..වෙලාව කියන්නේ පිනටද මන්දා අපේ මස්සිනාගේ යාලුවෙක් කඩන් පාත් වෙලා අපිවත් ඉස්සරහටම ඇදලා ගත්තා.. ටිකට් ප්‍රශ්නේත් ඉවරයි.. ආයේමත් අපේ මස්සිනා පොඩ්ඩව මතක් කරන්න සිද්ද උනේ යනකොටත් ශෝ එක පටන් අරන් තියෙනවා දැක්කාම..ආන් අර පෝලිමේ හිටියා නම් ශෝ එක කෙසේ වෙතත් ශෝ එක බලල යන උන්ගේ ශෝ එක බලන්න තිබ්බා..

ඔන්න දැන් ටිකට් එකත් අතේ තියාගෙන ඊලගට කට්ටිය ටිකට් කඩන පෝලිමේ... ඇස් වහක් කටවහක් නෑ ටිකට් කඩන්න උන්න ඉතාලි කාරයෝ දෙන්නා නම් හරි සිරියාවයි..මොකට බොරු කියනවද ඉතින් යන ගමන් ගෙදර ගෙනිච්චත් පාඩු නෑ ඕං.. :))
ආහ් අපේ හිතුවක්කාරි එයාට නම් නිකම් මැජික් එකක් දැක්කා වගේ.. කොටින්ම කියනවා නම් ලග ඉන්න එකා ගැන ගානක් වත් නැ ..ශෝ එක දැක්ක ගමන් මගේ අතත් අත ඇරලා දැම්මා..ගිය වෙලේ ඉදන් නටන්න මයි කල්පනාව.. නෝ මැනර්ස් අප්පා... වටපිටාව ගැන නම් කියන්න දෙයක් නැ පාට පාට ලයිට්..පාට පාට නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඇන්ටිලා අන්කල් ලා..අහ් ඇයි සීයලා .. ඒ කට්ටියත් උන්නා..නිකම් නෙමේ කට්ටියම වයින් කරපු බෝනික්කෝ වගේ...

හොදම හරිය ඔයාලට කියන්න.. :) ම්ම්ම්... එක්කෝ ඊලඟ පොස්ට් එකෙන් කියමුකෝ....මේ තවම වටපිටේ කැටයම් විතරයි...එලිවෙන ජාමේට හොද හොද සෙල්ලම් කිව්වලු නෙහ්.. ;)

Friday, April 22, 2011

හැදූ මවක්...


වෙනදා වගෙම හවස වැඩපල ටික සේරම ඉවරයක් කරලා උණු උණු තේ කෝප්ප දෙකත් අතින් අරගෙන බොහොම පරිස්සමට අඩිය තියමින් මම ගමන් කරේ මැහුම් කාමරය දිහාවට.. මම යනකොටත් අම්මා සිකුරාදා පොළෙන් ගෙනාව දම් පාට මල් වැටුන චීත්ත රෙද්ද මහන්නත් අරගෙන..අම්මගෙම අතින් මහපු ජාති ජාති චීත්ත ගවුම් වලින් තමා මගෙ රෙදි රාක්කය පිරිලා තිබ්බේ.. චීත්ත ගවුම ඇන්දම මූණට ඇගපතට එන ගමේ ගතියට මං ගොඩාක් ආසා කෙරුවා..අපේ අම්මාත් එහෙමයි.. ඒක නිසාම පොළට යන ගොඩක් වෙලාවට අලුත් චීත්ත රෙදි කෑල්ලක් අරන් එන්න අම්මා අමතක කරේ නෑ , ඒකටම ගැලපෙන රේන්දයක් අල්ලලා හරිම හුරතල් විදියට ගවුම් මහලා දෙන්න අපේ අම්මා හරිම කැමතියි..මං එව්වා ඇදලා හැඩ බලද්දි අම්මාට එයාගේ තරුණ කාලය මතක් වෙනවාලු...

" අම්මේ මෙන්න තේ එක.. උණුවෙන්ම බොන්න නිමෙන්න ඉස්සර වෙලා"
" ඔතනින් තියන්න දුවේ.. අල්ලලා බලන්නකෝ මේ රෙද්ද ඇගට හරිම පහසුයි.. ආ දුව, කහ පාට චූටි මලක් වැටිලා තියෙන හින්දා රේන්දේ කහ පාටින් අල්ලමු නේද?"
"හ්ම් එහෙම හොදයි... අම්මේ වාටි මහන්න මට දෙනවද?"
"ආ.. මෙයාටත් මේ හිතිලා තියෙන්නේ මැහුම් සාත්තරේ ඉගන ගන්න..පාඩුවක් වෙන්නෙ නෑ තමන්ටම තමා ඉගන ගන්න කොයි දේත්.. ඇද නොකර මහන්න ඕනේ හැබැයි..නැත්නම් අපරාදේ ලාබෙට හම්බ වෙච්ච රෙදි කෑල්ල"

තාත්තා නැති වෙච්ච දවසේ ඉදන් අම්මා හැමදේම කරේ අරපරිස්සමෙන්.. කිසිම දේකට ඕනාවට වඩා වියදම් නොකර ඒත් මටත් කිසිම අඩුපාඩුවක් නොකර හැමදේම හසුරුවන්න අම්මාට තිබ්බේ පුදුම දක්ෂ කමක්.. අපි දෙන්නගෙ කෑම බීම, ඇදුම් පැලදුම් ඒ සේරම වියදම් පිරිමැහුනේ අම්මා එක එක්කෙනාගෙ රෙදි පිලි මහලා උපය ගත්ත මුදල් වලින්..තාත්තා නැති වෙන්න කලින් අම්මගේ විනෝදාංශයක් වෙලා තිබ්බ රෙදි මැහිල්ල අද අපි දෙන්නගෙම ජීවන උපායක් උන හැටි පුදුමයි.. තාත්තා නැති උනා කිව්වට එයා තව ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන්නවත් අපි දන්නේ නෑ.. හමුදා මෙහෙයුමක් අතරතුර ආ ගිය අතක් නැතිය කියලා තමා ආරංචි උනේ.. පුංචි කාලෙදි වගේම අදටත් මට තාත්තා නැති උනාය කියලා වැඩි හිතේ අමාරුවක් නොතිබුනේ කවදාවත් තාත්තා හැටියට එයා මාත් එක්ක ඉන්න ඕනා වෙලාවල නොහිටපු හින්දයි.. මාස ගානකට පස්සේ ගෙදර ආවම මම ඒ අහලකටවත් ලං නොවී ඉද්දි තාත්තාගෙ හිතට ඇති වෙච්ච දුක ගැන මට දැන් හිතා ගන්න පුලුවන් උනත් ඒ දවස් වල නම් ඒ හැටි ගානක් තිබුනේ නෑ ..නිවාඩුවට ගෙදර ඉන්න ඒ ටික දවසවත් තාත්තාගෙ මූණේ හිනාවක් නොතිබුන එකට හේතුව මමද කියලත් දැන් මට හිතෙන වාර ගනන අනන්තයි....
" දුවේ ඇයි ඔයා තාත්තා ගාවට යන්නේ නැත්තේ ?? එහෙම කරන්න එපා දුව ඔයා දන්නවද තාත්තා හැම වෙලේම ගෙදර ඉන්නේ නැත්තේ ඇයි කියලා? ඒ දුවට, මට ඒ වගෙම මුලු රටටම තියෙන ආදරේ හින්දා.. දුව වගේම තව ගොඩක් පුංචි ලමයින්ට ලස්සනම ලස්සන ජීවිතයක් හදලා දෙන්න තමා දුවගේ තාත්තා මහන්සි වෙන්නේ.. ඔයාට තේරුනාද.. " තාත්තා ආයෙම කෑම්ප් එකට ගියායින් පස්සේ මාව ලගට අරන් අම්මා කරුණාවෙන් කියලා දුන්න හැටි මට තාමත් මතකයි.. ඒත් ඒ දේවල් වල බරක් පතලක් තේරුම් ගන්න මට ඒ දවස් වල ඕනා කමක් තිබුනේ නෑ.. මගේ හිත ඇහුවෙම තාත්තා අපිට ආදරේ නම් ඇයි අපි ගාවම නවතින්නේ නැත්තේ කියලා.. ඉස්කෝලේ රැස්වීම වලට, පොදු වැඩ වලට අනිත් ලමයින්ගේ තාත්තලා එද්දි මට ඒ හැමදේටම උන්නේ අම්මා විතරයි..ඒක නිසා එදා ඉදන්ම මගේ ආදරේ වැඩි හරියක් අයිති උනේ මගේ අම්මාට..

--------------------------------------------------------------------------

" අම්මේ.. "
"හ්ම්ම් මොකද ඇති උනාද වාටි මහලා?? " අම්මා එහෙම කිව්වේ තේ කෝප්පෙ පැත්තකින් තියලා මැෂිම දිහාවට එන ගමන්..
" නැහැ අම්මේ.. මට හිතෙනවා මං තාත්තා උන්න දවස් වල එයාට සළකපු විදිය හොද නෑ කියලා " එහෙම කියද්දි අම්මාගේ මූණ වෙනස් උනේ මමත් බලන් ඉද්දිමයි..
"එහෙම හිතන්න එපා දුව.. ඒකට ඔයාගෙවත් තාත්තගෙවත් වැරැද්දක් නෑ.. ඔයා ඒ දවස් වල පුංචියි... තාත්තා කලේ එයාගේ රාජකාරිය..."
" අනේ මන්දා අම්මේ.. ඔයාට හිතෙනවද තාත්තා අදටත් කොහෙ හරි ජීවත් වෙනවා කියලා?? " මම එහෙම අහද්දිම අම්මගේ ඇස් වලින් කදුලු බිංදු පේලියක් කඩා වැටුනේ ඇයටත් නොදැනිම වගේ..
" මට දුවට කියන්න දෙයක් තියෙනවා.. ඔයා දැන් පොඩි ලමයෙක් නෙමේ.. මාත් එක්ක හුරතල් උනාට අවුරුදු 22 ක තරුණ කෙල්ලක්..ඒක නිසා මං හිතනවා දුවට ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනවා කියලා..."
" ඇත්ත? "

Tuesday, April 19, 2011

අහිංසක පැතුමක්..


හීනයක්...
දකින්න ලස්සන...
හරිම සැහැල්ලු..
පාවෙන කුරුලු පිහාටුවක් වගේ...

ඒ හීනය..
ලස්සන ජීවිතයක්...
ඔහේ ගලා යන...
අර පිහාටුවට සම..

ඒ ජීවිතය...
අහිංසක පැතුමක්..
බරක් පතලක් නැති සිතක...
බොලද සිතුවමක් වගේ...

ඒ පැතුම..
සිත රවටන මිරිගුවක්..
සිතින් පමණක් මවා ගත්..
හැබෑවක් නැති හීනයක් වගේ...

ඒ මිරිගුව..
තිත්ත වුවත් ඇත්තක්..
දුක සැප සම ලොවේ..
සැම හට අත් වන..

Monday, April 18, 2011

මං ගැන ...


අම්මේ සෑහෙන කාලයක් බ්ලොග් එකක් හැදිල්ල පස්සට දදා ඉදලා ඔන්න අද අන්තිමට මාත් මටම කියල බ්ලොග් එකක් හදා ගත්තා.. මගෙම කියලා බ්ලොග් එකක් කරන එක මං හීනෙකින්වත් හිතපු දෙයක් නෙමේ... ඒකත් අහඹුවක්... සේරටම ඉස්සර වෙලා මං මතක් කරන්න ඕනේ මගේ හොදම යාලුවව..එයා හින්ද තමා මං අද මගේම බ්ලොග් එකකුත් එක්ක මෙතන ඉන්නේ..ගොඩක් වෙලාවට මං පොඩි පොඩි කවි ලියලා මූණු පොතේ හෙම දාද්දි එයා කිව්වෙම ඔයත් බ්ලොග් එකක් පටන් ගන්න කියලම තමයි...තවත් ගොඩාක් කට්ටිය කියල කියලාම ඔන්න මමත් ඉතින් පටන් ගත්තා ලියන්න...

දැන් ඉතින් මං ගැන පොඩි විස්තරයක් කියන්නම්කො... මම ඉශ්වි..මේ දවස් වල මගෙ පදිංචිය ඉතාලියේ...ඉතාලිය ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ..මට නම් ඊට වඩා ලංකාව දහස් ගුණේකින් හොදයි.. මෙහෙ ජීවිතේ ලංකාවෙ ජීවිතේට වඩා ගොඩක් වෙනස්..සෑහෙන නිදහස්.. ඒකට හැඩ ගැහෙන අයත් ඉන්නවා, ඒත් අවුරුදු තුනක්ම මෙහෙ ඉදලත් මම ඒ විදියට හැඩ නොගැහුනේ මොකද මන්දා.. මම තාමත් කැමති කලබල නැති ලංකාවෙ ජීවිතේට.. ගොඩක් අදුරන අය ඉන්න යාලුවො ඉන්න තමන්ගෙම රටක ඉන්න එකේ අගේ තේරෙන්න පිට රටකට ඇවිත්ම බලන්න ඕනේ..

ම්ම්ම්... මම ගැන නම් ඉතින් කියන්න තරම් විශේෂෙකුත් නෑ...අනිත් අය වගේම සාමන්ය, විහිලු තේරෙන,ඕනාවට වඩා හිතන්නේ නැති, සැහැල්ලු ප්‍රශ්න නැති ජීවිතේකට ආස කරන කෙනෙක්.. අනිත් අයත් ඉතින් එහෙමනේ.. අඩු තරමෙ මං එහෙම හිතනවා.. හෙහේ.... :)

ඉස්සරහට තවත් දෙවල් ලියන්න බලාපොරොත්තු වෙනවා.. කියවන එක නම් ඉතින් ඔයාලගෙ අතේ තමයි.. !!