Thursday, November 1, 2012

දන්නේ මම මයි..




මහා මෙරක්..
ආදරේ හිරකරන්..
හීන මවන හැටි...
දන්නේ මම මයි..

ආදරෙ කීවට...
නුඹ ලැබේවිද..
සිත ලත වෙන හැටි..
දන්නේ මම මයි..

නුඹට නොකීවට..
ආදරේ තරම..
හිතේ පිරුනු..
ආදරේ නුඹ මයි..

ආදරේ වෙන්නැති ..
ඊයේ අයෙකුට..
ආදරේ කරයි නුඹ..
හෙට වෙන අයෙකුට..
ඒ කිසිවක් ගැන..
නොසිතමි මම අද..
ඔබේ ආදරේ..
අද මට දෙන කල...

Tuesday, September 18, 2012

එපා දඬුවම් ඇගේ වරදට..




ආදරේට මම හුරතල් උනාට..
ඇයි කියන්නෙ ඔබ බොලඳ නොවන්නට..
දකින හීන මම ඔබට කිව්වට..
ඇයි කියන්නෙ ඔබ හීන නොබලන්න..
ඔබෙයි මගෙයි ලොව හිතින් හැදුවට..
ඇයි කියන්නෙ ඔබ හැබෑ නොවන බව..

ඔය බොලඳකම් වයසට කීවට..
නැතුවද ඔබ පහු කරලා මේ දින..
ඔය දකින්නේ හීන කීවට..
නැතුවද ඔබ දැකලා ඒ හීනම..
මගේ තැන එදා ඇයට තිබුනට..
නැතුවද ඔබ තනලා ඒ ලෝකය...

ඇය ගිහින් නම් ඔබේ ලෝකෙන්..
ඇයි සසඳන්නේ මා ඇගේ වරදට..
පෙර රිදුනු සිත හදන්න ආයෙත්..
ඇයි නොදෙන්නෙ මට එක වතාවක්...

ඇයට ආදරේ කරපු තරමට..
වැඩිය ආදරෙයි දනී මේ හිත..
ඈතින් තියන්නේ ඇයි මේ තරමට..
එපා දඬුවම් ඇගේ වරදට..

Monday, September 3, 2012

ඊයෙ අද වගේ මට නම් තවමත්..





අද වන් දිනයක,නොසිතු මොහොතක..
හමුවුනේ අපි නොහඳුනන ලෙස..
නමුදු සිත රැඳුනේ ඔය ඇස් අබිමුව...
අදටත් එහෙමයි නොම යයි වෙනතක...


නෙතින් කියු දේ වැටහුනාවද...
නෙතේ පැටලී නොයා වෙනතක..
ලඟින් දැවටී සිටියෙ ඒ දින..
මතකයි ඉඟි කෙරූ ඔබෙ නෙත් යුග...

දහසක් නෙත් රවටා, හුන් අප මැද..
අතේ දැවටුව පුංචි තුන්ඩුව..
එදා වගෙමයි පරිස්සමට අද...
තාමත් මා ලඟ ඔබේ සුවඳ දෙන..

හමුවුනු සොඳුරු මතක..
නැතිමුත් ඒ හැටි...
නැහැ කිසි අඩුවක් ආදරෙයි මම..
නැහැ කිසි වෙනසක් ආදරෙයි ඔබ...

දවස් පැය ගනන් ගෙවී හිමිහිට...
අවුරුද්දක් ගැට ගැසිලා අද දින..
දැනුනෙවත් නැති හැටි හරිම පුදුමයි...
ඊයෙ අද වගේ මට නම් තවමත්..

Saturday, August 4, 2012

නැද්ද කිසි දුකක්??


ආදරේ ඇත්තටමද...
මායාවක් විතරක්මද..
මේ ඇස් දෙක රැවටිලාද..
නැහැ කිසිම තේරුමක්..

මගේ හිත රැවටුනාද..
හිස් වචන පමණක්මද..
දුටුවේ හීන විතරක්මද..
නැතිද හෙට දිනක්??

අයිතියක් මගෙ ඕනේ නැද්ද..
ලඟින් ඉන්න ආසා නැතිද..
ආදරේ මගෙ දැනුනේ නැද්ද..
හිතට නිකමටවත්??

ආදරයක් ඇත්තෙ නැද්ද..
කවදාවත් තිබුනේ නැද්ද..
හැර යන්නට හිතෙනවාද...
නැද්ද කිසි දුකක්??

Tuesday, July 3, 2012

වාවන්නෑ සිත පුංචි පුතේ..




දස මස කුස හිඳ කිරිකැටි පුතු නුඹ..
දෝතට ගෙන මව් සෙනෙහසින් පුතේ..
නොපියූ නෙත් වල හීන කෝටියක..
රජ කෙරුවේ නුඹ තමයි පුතේ...


සිනිඳු මොලොක් පා අඩියෙන් අඩියට...
දෙපා වීරියෙන් නැගිට පුතේ..
පිය නගනා හැටි අතින් මා ගෙන..
සිහින මැව්වා මගේ පුතේ...


සිඟිති සිනා රැලි වචන ගැට ගසන..
කාලය දැන් එලඹිලා පුතේ..
එහෙත් ඇයි නුඹ නිහඬ මේ ලෙස..
වාවන්නෑ සිත පුංචි පුතේ..


දුව පැන ඇවිදින පුංචි ලමයි දෙස..
බලා නිසොල්මන් ඇයිද පුතේ..
දෙපයින් හිටින්න වාරු නැතිවද..
පුංචි ඔය දෙපා සිඟිති පුතේ...


පූරුවේ කල පව්දෝ අම්මා අද..
විඳවන්නේ මේ ලෙසින් පුතේ..
අප්පච්චි මම මේ ලොව නැති කල..
නුඹට යන කලක් ඇද්ද පුතේ...




Saturday, June 30, 2012

ඉතින් යනවද??



අහඹු මොහොතක හමු වුනේ ඔබ ..
මතකද දවසක නෙතු දහසක් මැද...
නුහුරුම හැඟුමක් දැවටුන සිත ලඟ..
එකලු කලා නව පැතුම් පොදි බැඳ...

දඟකාර නුඹේ වදන් අද්දර..
නැවතුනා සිත මටත් නොදැනිම.
ආදරයක්දෝ මුලු සිතින් කල..
ගනිච්චියක් නෑ මේ හැඟුම් ගැන..

ආදරේද මට ඇහුවේ නෑ මම..
ආදරෙයි මම කිව්වේ නෑ මම..
තනිව ආදරේ කලා රහසෙම..
නිච්චියක් නෑ යනතුරු වෙනතක...

මිතුරියක නමක් පමණක් දී මට..
රුවැත්තියක් අත පටලා වෙනතක..
ඉතින් යනවද?? යන්නම යනවද ..
ආයෙම දිනයක හමු නොවෙන්නම..

Thursday, June 21, 2012

කන්‍යාවකගේ කතාව...



ට්‍රීං ට්‍රිං ...

"අනේ මධූ හොඳ ලමයා වගේ බලන්න කවුද කියලා.."
 හිඳගෙන උන් වැඩය අහක දමා තකහනියක් නැගිටීමට නොහැකි නිසා මා මඩමේ උදව්වට සිටි ගැහැණු ලමයෙකුට කීවෙමි... ඈ හනික දිව ගියේ දුරකතන ඇමතුම කාගෙන්දැයි බැලීමටය...
පව් අසරණ ගෑණු ලමයි.. ගෙවල් වල අඟ හිඟ කම් වැඩි නිසාම මඩමේ ජීවිතයට ඇලුම් කරන හැටි.. මගේ තනි සිතට ඔවුන් ගැන ඇති වන්නේ අනුකම්පාවකි..
අඟ හිඟ කම් නොතිබුන මුත් මාගේ ජීවිතය මෙහි නැවතීමට හේතුවූ කාරණා බොහෝමයකි.. ඒ අතීත දුක් ගැන පසුතැවීම මා අත් හැරියේ මෙහි පැමිණි පලමු දින වලදීය...

" සිස්ට.. ඔයාගේ නැන්දා කතා කරනවා.. පණිවිඩයක් තියෙනවලු කියන්න.. ලයින් එකේ ඉන්නවා.. සිස්ට යන්න මම ඕක කරන්නම්.. "
සුදු රෙදි කඩකින් අත පිස දමමින් මා දුරකතනය වෙත පා නැගුවේ කුතුහලයෙනි.. නැන්දා කුමන කාරණයක් සඳහා මා අමතනවා දැයි මට සිතා ගනු නොහැකි විය.. ඉඳහිට හෝ මාගේ සැප දුක් විමසා බැලුවේ ඇය පමණි.. පුංචි කල සිටම මාගේ මවටත් හොඳම මිතුරියටත් සිටියේ ඇයයි.. ලොකු අම්මා ලෙඩ වීමත් සමඟම ඇය මාගේ සහ අයියාගේ බර කරට ගත්තේ කිසිම පැකිලීමක් නොමැතිවය.. ඔවුන්ගේ පවුලටද අඩුපාඩු නොතිබුනාම නොවේ.. පෝෂණය කිරීමට ගැහැණු දරුවන් දෙදෙනෙක්ම සිටියදී අපේ සැප දුක් බැලූ නැන්දාට අදටත් මා මවකට මෙන් සලකන්නේ එම නිසාවෙනි... අද මා මෙහි සිටිනවා නම් ඒ ලොකු අම්මා සහ නැන්දාගේ කරුණාවන්ත කම නිසා පමණක්මය..
" නැන්දේ.. ජේසු පිහිටයි.. "
" ජේසු පිහිටයි දුව..ඔයාට කොහොමද? මම මේ ඔයාට කතා කරේ හදිසි පණිවිඩයකට.."
" මම හොඳින් නැන්දේ.. මොකක්ද හදිස්සිය..?" එවර  ඇගේ කටහඬේ වූ බැරෑරුම් කම නිසාම  මාගේ හදවතට දැනුනේ අමුත්තකි..
" ඔයාගේ තාත්තා අසනීපෙන් දුව..එයාට සෑහෙන්න අමාරුයි.. ඔයා ඇවිත් කතා කරලා ගියොත් හොඳයි කියලා මට හිතෙනවා"
" තාත්තට?? "

මං දන්නා තරමින් නැන්දා සහ මාගේ තාත්තා අතර ඇයි හොඳයියක් නොවීය.. ඒත් අප නිසාමය.. මන්දයත් නමට පමණක් මගේ පියා වූ ඔහු අපට කලේ බාප්පා කෙනෙකුවත් තම බිරියගේ දරුවන්ට නොකරන දේය.. මාගේ ජීවිතයේ තාත්තා යන නාමයට වැදගත් තැනක් නොම වූයේ එමනිසාමය..
මා ඉපදී මාස තුනක් යන්නටත් ප්‍රථම මාගේ මව මෙලොව අතහැර ගියේ දරු තිදෙනෙක් මෙලොව තනිකර දමාය..
අපේ කරදඩු උස් මහත් වන තුරු අම්මාට කියා අපට උන්නේ ලොකු අම්මා පමණි.. නැන්දා ඇගේ බාලම දියණිය වූවෙන් පුංචි කල සිටම අපි ඇයට ලැදි වූයෙමු... එකල තාත්තාගේ කල් ක්‍රියාව ගැන මොනයම් වත් අවබෝධයක් නොවූවත් දැන් ඒ සෑම දෙයක්ම කිසිවෙකුට රහසක් නොවේ.. තරුණ ඉලන්දාරියෙකුගේ සහ ගැහැණු ලමිස්සියන් දෙදෙනෙකුගේ පියා යන්න දැන දැනම ඔහු නිවසට රැගෙන ආවේ කලින් කසාදයක් නොබැඳ හුන් මුත් ලමුන් දෙදෙනෙකුට මව වූ අපගේ කුඩම්මාවය.. ඇය කිසිම කරුණාවක් නොමැති ගැහැණියක් බව සැවොම දැන හුන් කාරණයකි...
ඇය ඇගේම දරුවන් ගැනවත් කරුණාවක් නොදැක්වූ කල අප ගැන කරුණාවක් නොදැක්වීම පුදුමයක් නොවුනි...
 අපේ පවුලේ වැඩිමල්ම දියණිය මගේ අක්කාය.. තරුණියකට පියෙකුගෙන් විය යුතු යුතුකම් ඉටු නොවන කල ඇය ඇගේම මනාපයට දීගයක ගියේ කිසිවෙකුටත් නොකියාමය..නපුරු කුඩම්මා ලඟ මාත් අයියාත් තනි වුනේ අවාසනාවන්ත ලෙසය.. මා ගැහැණු ලමයෙකු වූයෙන් කෑම බීම පිලිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් අයියාට එම අඩුපාඩුව මහමෙරක් ලෙස දැනෙනට ඇතිය.. අහලින් පහලින් හම්බ වූ පාන් නහට්ටක් හපමින් පාර දිගේ ඇවිදින ඒ අහිංසකයාව මතක් වෙන මතක් වෙන සැරේක මාගේ හද අදත් දැවී යයි.. අඩුපාඩු වැඩිවෙන්නට වූයෙන් අයියාද මා තනි කර දමා හමුදාවට බැඳුනේ හුදෙක්ම රට රකින නියාවෙන්ම නොවේ.. ගෙදරකින් තමාට ඉටු විය යුතු යුතුකම් ඉටු නොවෙනා විට එයින් වෙනතක යෑම පුදුමයක් නොවේ.. ටික කලක් ගත් වන විට අක්කා දරුවෙකු ලැබීමට සිටිනවා යැයි අපට කීවේ ඇයව මහ මඟ හමුවූ අයෙකි.. ඒ කාලයේදීම කුඩම්මාද දරුවෙක් අපේක්ශාවෙන් සිටියාය.. අක්කාගේ දරුවා අප පියාගේ දරුවාට වඩා මාස ගනනකින් වැඩිමල් වීම අපව කෙතරම් ලැජ්ජාවට පත් කලාදැයි කියා නිම කල නොහැක්කකි...
කාලය ගත් වනවාත් සමඟම මා දැනුම් තේරුම් ඇති තරුණියක් වූයෙන් නිවසේ සිදුවූ යම් යම් සිද්ධීන් මාගේ සිතට ප්‍රිය ගෙන දෙන ඒවා නොවීය.. ගෙදර හිඳීම පවා මා හට තිත්ත වෙමින් පැවතුනි..දවසින් වැඩි කාලයක් මා ගත කලේ නැන්දාගේ නිවසේය.. සිතෙහි ඇති වී තිබුනේ කලකිරීමක් වැන්නකි.. සෑම දේම මා ඔප්පු කලෙ දෙවියන් වහන්සේටය.. නිතරම දේවස්ථානයට ගොඩවී මාගේ දුක නිවා ගැනීම මාගේ සිත යම් ආකාරයක පහසුවකට පත් කලෙහිය.. සෑම සිදුවීමක් සමඟම කන්‍යා සොයුරියක් ලෙස දේවස්ථානයට කැප වීම කෙරෙහි මාගේ සිත ඇලුම් කරන්නට විය..එසෙහෙයින් මාහට වයස 18 ක් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී මා ජපමාල නිකායෙහි කන්‍යා සොයුරියන්ගේ නිවාසයට ඇතුල් වූයේ දෙවියන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබමිනි.. එසේ නොවන්නට අද මාගේ ජීවිතය කොයි යම් තැනක නැවතී තිබෙන්නට පුලුවන්දැයි මට සිතා ගන්නටවත් නොහැකිය..
අප පවුලේ තත්වය දිනෙන් දිනම අන්ත තත්වයට පත් වුනේ මාගේ අයියාගේ හදිසි මරණයෙනි.. අවුරුදු 23 වෙන්නටත් ප්‍රථම ඔහු රටටද සේවයක් කරමින් වුවද අකාලයේ නැසී ගියාට සම්පූර්ණ ලෙස වගකිව යුත්තේ මගේ පියා බව අදටත් මම නොබියව නොපැකිලී පවසන්නකි.. දේව දියණියක ලෙස පොරොන්දු දීමට මාස 3ක් තිබියදි ඔහු අපගෙන් නික්ම ගියත් මාගේ එම සුවිශේෂී මොහොතට කෙසේ හෝ නිවාඩු දමා පැමිණෙන බව පැවසූ ලිපියක් ඔහුගේ මරණින් පසු මා අතට ලැබුනේ මාගේ පපුව පලාගෙන යන තරමේ දුකක් සිතට එක් කරමිනි..අද දින වන විට මාගේ අක්කා ඇගේ දියණියන් දෙදෙනාම ඔවුන්ගේ පියා සමඟ තනිකර ඈත දුරක සේවයේ නිරත වන්නේ අඩුපාඩු දරාගත නොහැකි තැනය.. එහෙත් කිසිදු පැකිලීමක් ලජ්ජාවක් නොමැතිව අයියාගේ පඩියෙන් සම්මාදන් වෙන මාගේ පියාට ඒ ගැන කිසිදු තැකීමක් නැත්තා සේය... කුඩම්මාට දාව උපන් දරුවාට සියලු සැප  සම්පත් දෙමින් ඔවුන් රකින්නේ අකාලයේ මහපොලොවට යට කර දැමූ මාගේ අයියාගේ දහදිය බව හොඳින්ම දත් මාගේ පියාට අනික් දරුවන් මැරුනා සේය.. ඔවුන් ගැන තකන්නේද නැත.. මා ගෙවන ජීවිතය ගැන මට කිසිදු දුකක් නැත.. නමුත් පවුලේ කියා මට ඉතිරි වූයේ අක්කා පමණි.. අඩුම තරමේ ඇය ගැනවත් සොයා බැලීමට තාත්තාට පුලුවන් කම තිබේ. එහෙත් ඔහු ඒ ගැන සිතන්නේවත් නැත..ඇත්තෙන්ම මාගේ සිතේ ඔහු කෙරේ වූයේ තරහකි.. දෙවියන් වහන්සේගෙන් මා නිතර යැදුවේ ඔහු කෙරේ වූ හැඟීම පිලිබඳ මා කෙරෙහි අහිතක් නොහිතන ලෙසටය.. මන්දයත් එම හැඟීම මා කෙරෙන් කිසි දින පහල නොවන බව මා හොඳාකාරයෙන්ම දනිමි... 


 " ඔව් නැන්දේ.. මම එනවා එයාට කතා කරන්න.. මගේ හිතේ තියෙන දේවල් එයාට මැරුණයින් පස්සේ කියලා පලක් නෑ.. "
" ඔයා ලොකු සිස්ටගෙන් අවසර ගන්න.. ඒ කරලා මට පණිවිඩයක් කියන්න.."
" නැන්දා ගියාද තාත්තාව බලන්න?? "
" නෑ පුතේ.. ඔයාලට කරපු දේවල්.. අර කොල්ලව මතක් වෙද්දි.. මට එයාගේ මලකඳ බලන්නවත් යන්න හිතෙන්නේ නෑ.. " 
නැන්දාගේ කටහඬ වෙව්ලන ගතියක් මට දැනුනි... ඇය කඳුලු සලන්නේ අප වෙනුවෙනි..එහෙව් කොට මාගේ පියා ගැන ඇති වන්නේ ලැජ්ජාවකි...
" හ්ම්ම්.. මං තියන්නම් නැන්දේ.. ඔයාට ජේසු පිහිටයි.."
" ජේසු පිහිටයි දරුවෝ.. "


                                                           දුරකතනය පසෙකින් තබා මම නැවත පියනැගුවේ මුලුතැන් ගේ දෙසටය.. සිත තුල යමක් සිර වෙන්නාක් වැනි හැඟීමක් මා තුල හටගන්නට විය.. එසැනින් මා ගියේ ලොකු සිස්ට හමු වී අවසර ගැනීමටය.. ඇය පවසා සිටියේ මා අනිවාරෙන්ම පියා බැහැදැකීමට යා යුතු බවයි.. අප දෙවියන් වහන්සේ අමතන යාච්ඤාවේ සඳහන් පරිදි " අන් අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කල මැනව " යන්නෙන් අදහස් වන්නේ අප අන් අයට සමාව දීමට හිත හදාගත්තොත් පමණක් අප අතින් වූ සුලු වැරැද්දකට වුවද සමාව ලැබෙන බවයි.. එහෙයින් මා තාත්තා බැලීමට යාමට සිත එක්තැන් කරගතිමි..

තාත්තා හදිසියේ අසනීප වූ කාරණය සොයා බලන කල මා හට දැනගන්නට ලැබුනේ ඔහු ආදරයෙන් හදාවඩා ගත් කුඩම්මාට දාව උපන් පුතා යන්තමින් වයස 18 ක් වන්නටත් කලින් ගැහැණු ලමයෙකු සමඟ පැනගොස් ඇති බවයි... ස්වර්ගයත් අපායත් මෙලොවෙහිම බව මට පසක් වුනේ අත්දැකීමෙන්ය.. මාගේ සිතෙහි මාගේ පියා ගැන තරහක් නැත.. දෙවියන් වහන්සේම උන් වහන්සේගේ විනිශ්චය පව්කාරයින්ට ලබා දෙනු ඇත....

------------------------------------------------------------------------------------------------------------
මේක සැබෑ සිදුවීමක්.. ලඟදී සිස්ට අක්කා එයාගේ තාත්තව බලන්න ආපු ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා ගියා.. එයා අපේ අම්මට ගොඩක් ලැදී.. යන්න කලින් අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වේ.. " ඕගොල්ලො නිසා අද මම හිතේ කිසිම දුකක් නැතිව ජේසුත් එක්ක සතුටින් ඉන්නවා" කියලා.. ඒක දකිනකොට මට හිතට මාර දුකක් දැනුනා.. අම්මා නැති අඩුව නිසා එයාලගේ ජීවිත වෙනස් වෙලා තියන හැටි පුදුමයි.. මම කොච්චර වාසනාවන්තද කියලා මට හිතුනා... ඒ කොහොම උනත් තමන් කරන දේ වලට අනුව තමයි පල විපාක ලැබෙන්නේ කියලා මටත් හිතෙනවා..

Monday, June 18, 2012

යන්න මට ලෝබයි...





දෑස් පියාගෙන සිතින් ඔබ ලඟ..
හිඳින්නට ආසයි..
දුරින් හිඳ වුව කියන වදනකට..
සිනාසෙනු ආසයි..
ආදරෙයි කියා කියන හැමවිට..
අහන්නට ආසයි...
ඔබ ලබන්නට, ඔබෙම වෙන්නට...
සදා මං ආසයි..

වෙනව යන කතා කියනු එපා මට..
අහන්න මට ලෝබයි..
සිහින ලෝකය බිඳිනු එපා හෙට..
සිතන්නටත් ලෝබයි..
අපෙම ලෝකයක් තනමු අපි හෙට ..
පතන්නට ආසයි..
ඔබෙන් නික්මී දුරක වෙනතක..
යන්න මට ලෝබයි...

ඔබ නැති හිස්තැන..


සිනහා දෙතොලඟ..
දෑඟිලි පැටලුන..
එකට පා තැබුව..
දින එයි මතකෙට..

නිදහස් සිත් ලඟ..
වදන් ගැළපුව..
ජීවිතය වින්ද..
හැටි එයි මතකෙට..


දෙනෙත් කොන් අග..
රහස් තෙපළුව..
දඟකාරම දින..
යලි එයි මතකෙට...


දැන් ගෙවී දින..
හමු නොවී අප..
දෑඟිලි තනිවම..
ලෙල දෙයි සුලඟට..


දහසක් දේ ඇත..
සිත තුල සිරවුන..
ඔබට කියන්නට...
ලඟ නෑ තනියට...


දෑස් මායිමේ නැත..
මිතුරියේ අද...
ඔබ නැති හිස්තැන..
දැනෙනවා මට..




Monday, May 14, 2012

ගල් ගැසුන සිත් අතර.. IV


කොලේ දිග ඇරලා බලනවද නැද්ද... ආයෙත් දෙපාරක් නොහිතා ඩෙස්කේ උඩට වැටිලා තිබුන  කොල කෑල්ල හිමීට ඇඟිලි තුඩු වලින් මගේ පැත්තට ලංකරගත්තේ මොනා හරි ලියලා තියෙනවද බලන්න...
                                 "ඔයා ලංකාවෙද?? " පැහැදිලි සිංහල අකුරු වලින් කොලේ ලියලා.. මට එක පාරටම පිටිපස්ස බැලුනේ නොදැනුවත්වමයි.. අර දෙන්නා තාමත් හිනාවේගනම බලන් ඉන්නවා..  දෙන්නගෙන් එක්කෙනෙක් ඇහිබැම උඩ ඇරලා ඔලුවෙන් ඇහුවේ ලියලා තියෙන ඒක තේරුනාද කියලා බලන්න වගේ.. මමත් හිමීට ඔලුව හොලවලා ඔව් කියලා ඉස්සරහ බලාගත්තා..

                                උගන්නන අතරමඟ පොඩි විවේක කාලයක් දෙනවා.. හැමෝම පන්තියෙන් එලියට යනකොට මට විතරක් ඇතුලට වෙලා ඉන්න බැරිකමට මමත් එලියට බැහැලා වටපිටාවට පොඩ්ඩක් ඇස් ඇරියා... අම්මේ සීතල නම් උහුලන්න බෑ, ඒක නිසා පන්තියට ටිකක් එහායින් තිබුන මැශින් එකෙන් මාරු කාසි දාලා උණුම උණු චොකලට් බීම එකක් අරන් එලියේ තිබුන බංකුවකට වෙලා වෙලා ඉඳ ගත්තේ කතාකරන්නවත් කවුරුත් නැති නිසා... මේ වෙලාවට තමයි ලංකාවේ උන්න යාලුවන්ගේ අගේ තේරෙන්නේ..

" මොනාද දන්නේ නෑ නේද  අහස පොලව ගැටගහන්න වගේ කල්පනාව!! "
පිටිපස්සෙන් ඇහුන කටහඬකට මාව ගැස්සිලා වගේ ගියා.. ආහ් මේ අර දෙන්නා නේ...
"මොකෝ තනියම මෙතන්ට වෙලා? සසර කලකිරිලා වගේ?? "
එහෙම කියද්දි මට ලාවට වගේ හිනාවකුත් ගියා..
" නෑ ඉතින් කාවත් අඳුරන්නේ නෑ නේ තාම ඒකයි.."
" ඔහොම පැත්තකට වෙලා හිටියොත් නම් කවදා අඳුරගන්න හම්බ වෙයිද දන්නේ නෑ.. හෙහේ.."
එක්කෙනෙක් නම් හරිම කටකාර පාටයි.. අනිත් එක්කෙනා ආව වෙලේ ඉඳන් තාම වචනයක්වත් කිව්වේ නෑ.. හිනාවෙනවා විතරයි...
" දැන් අතුලට යන්න වෙලාව හරි නේද.. මං යනවා.. " එහෙම කියාගෙනම මං දෙන්නව මඟ ඇරලා ආවේ කතාකරන්න තරම් දේකුත් තිබ්බේ නැති නිසා...
" මේ නංගි කතාකරන්න කවුරුත් නැත්නම් අපි ලඟින් ඉඳ ගන්න..."

මම නෑහුන ගානට ඇවිත් පුරුදු තැනින්ම ඉඳගත්තා.. පන්තිය අවසානයේ මම පොත් ටිකත් අස්පස් කරගෙන දිග කොරිඩෝව දිගේ ඇවිදගෙන ආවේ ගේට්ටුව ලඟ තාත්තා ඇතියි හිතාගෙන.. ම්හ්ම්.. තාත්තා පෙන්නවත් නෑ.. ආපු ලමයි සේරමත් පාරේ නොපෙනී යනකන්ම මං බලාගෙන උන්නා ඒත් තාත්තා තවම නෑ.. දැන් නම් මගේ ඇස් දෙකට කඳුලු ඉනුවේ මටත් නොදැනිමයි... එතකොටම එතනින් ලංකාවේ අයියලා දෙන්නගෙන් එක්කෙනක් යනවා..අර වැඩි කතාබහක් නැති එක්කෙනා..පුරුදු විදියටම හිනාවේගන එයත් ගෙදර යනවද කොහෙද.. හිනා උනාට මට හිනාවෙන්නවත් කල්පනාවක් නෑ.. මම මහ නපුරු කෙල්ලෙක් කියලා හිතුවද දන්නෙත් නෑ..

ටික දුරක් ඇවිදන් ගිහින් මෙන්න අර මනුස්සයා ආයෙමත් හැරිලා මං දිහාවට එනවා..


"කවුරු හරි එනකන්ද ඉන්නේ?? "
"හ්ම්ම්.. "
"කවුද එන්නේ?? තාත්තාද? මං දැක්කා උදේ ඔයාව ඇරලා යනවා"
"හ්ම්ම් ඔව්.. "
" ඔයා මෙහෙට අලුත් නේද.. බයවෙන්න එපා තාත්තා එයි ඉක්මනට..ඇවිත් කොච්චර කල්ද ඔයා?"
"තවම සතියයි.."
" ආහ්.. ඒක තමා.. මූණ දැක්කම කිව්වැකි... " එහෙම කියලා හයියෙන් හිනා වෙද්දි මටත් හිනා...
" ඒ කොහොමද?? "
" නෑ ඉතින් මෙහෙ ගැන වැඩි දන්නේ නැති නිසා නේ බයවෙලා ඉන්නේ..පුරුදු වෙද්දි හරි යනවා"
" ඔයා ගොඩක් කල්ද ඇවිත්?? "
" දැන් නම් අවුරුද්දකට විතර ලඟයි.. භාශාව නැතුව කිසි දෙයක් කරන්න බෑ නේ.. ඒකයි මෙහෙ එන්නේ.."
" ආහ්.. හ්ම්ම්... "
" හරි නංගෝ මං දැන් යනවා.. මූණ බෙරිවෙලා තියෙනවා දැක්ක හින්දයි හැරුනේ.. බය වෙන්න එපා මෙහෙ ලංකාව නෙමේ නේ.. කවුරුත් මොකුත් කියන් යන්නේ නෑ.. හෙහේ..."
"හා.. "
" ආහ් මම කූජන.. හෙට හම්බවෙමු... චාව් "
"චාව්"
මෙච්චර වෙලාවකට පස්සේ දැන් තමයි මේ මනුස්සයාගේ කටහඬ ඇහුවේ..හැබැයි ලංකාවේ දෙන්නම හරි හොඳ පාටයි.. කවුරුත් නැති කමට මෙයාලවත් මදැයි...

ඒ කතා කරලා වැඩි වෙලාවක් යන්න හම්බ උනේ නෑ.. අම්මෙහ් ඇති යන්තම්.. තාත්තාගේ මූණේ සුද දකිනකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.. තාත්තා එනකොටම කූජන අයියත් පාස් වෙනවා.. තාත්තා ඕනේ කමින්ම ඒ මනුස්සයාගේ මූණ දිහාව හොඳට බලාගෙනම එනවා..අපෝ බැනුම් අහන්න වෙයිද දන්නේත් නෑ...


මූණ නම් වෙනස් උනා එක පාරටම.. එයාට තරහා ගියාම නම් මූණ ගන්න දෙයක් නෑ.. මමත් වැඩි කතාබහක් නැතිවම බයික් එකට නැගලා වාඩි උනා.. ටික දුරක් යනකන් තාත්තා වචනයක්වත් කතා නෑ...

" කවුද ඒ කතා කර කර ඉඳලා ගිය කොල්ලා?? "
" පන්තියට එන ලංකාවේ අයියා කෙනෙක් තාත්තේ.."
" හ්ම්.. ලංකාවේ උනාට කමක් නෑ.. වැඩි කතාබහට යන්න ඕනේ නෑ.. තේරුනාද??"
" හ්ම්ම්... "



Friday, April 27, 2012

ගල් ගැසුන සිත් අතර.. III



ඉරිදා උදෙන්ම නැගිටලා අපි කට්ටියම පල්ලියට ගිහින් ඔරසන් කියලා ආවා.. පල්ලිය උනත් ලංකාවේ පල්ලි වලට වඩා ගොඩාක් වෙනස්.. බිත්ති පුරා ඇඳලා තිබුන පින්තූර අතින්ම නිම කරපුවා කියලා තමයි තාත්තා කිව්වේ.. බලන්න ලස්සනයි.. මේවගේ නිර්මාණ කරන්න හැකියාව තියන අයත් ඉන්නවා කියද්දි පුදුමයි.. අල්තාරය සරසලා තිබුනේ අමු මල් වලින්.. අඳුර කපාගෙන පත්තු වෙන ඉටිපන්දම් පල්ලියට එක්කෙරුවේ අමුතුම ලස්සනක්.. ඔන්න පලවෙනි වතාවට මෙහෙදි තැනක් මගේ හිතට ඇල්ලුවා.. ගෙවල් වලටත් ලඟම නිසා මට නිතර යන්න එන්න පුලුවන්...
                                  ගෙදර ගිහින් අම්මි උයන්න ලෑස්ති කරනකන් මායි නංගියි ගේ ටිකක් අස්පස් කරලා දැම්මා.. අද තාත්තිත් ගෙදර නිසා ටිකක් විශේෂයි.. තුන් දෙනාම එකතු වෙලා ටිකක් වෙලාස්සන උයන පිහන වැඩ ඉවරයක් කරේ හවසට ටිකක් එලියට යන්න හිතාගෙන... ඉරිදා දවසේ තමයි හැමෝම එකට ඉඳගෙන කෑම කන්න පුලුවන් දවස.. අනිත් දවස් වල තාත්ති පාන්දර ගියාම ආයේ ගෙදර එන්නේ රෑ කෑමට.. වෙලාවකට මෙහෙ ජීවිතේ හරිම අමාරුයි.. හැමදේම අපි වෙනුවෙන්නේ.. අම්මියි තාත්තියි අපි වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කරන එකේ ඒගොල්ලන්ගේ සතුට ගැනත් හිතන්න ඕනේ.. ලංකාවේ ඉන්නකොට මට ඒ දේවල් ගැන එච්චර තැකීමක් තිබුනේ නෑ.. ඒත් එකට ඉන්නකොට තේරෙනවා...මට දැන් ඕනේ වෙච්ච හැමදෙයක්ම පැත්තකින් තියලා ජීවිතේ අලුතින් පටන් ගන්න.. වැරදි හදාගෙන මගෙම අයත් එක්ක සතුටින් ඉන්න.. මීට පස්සෙවත් ඒගොල්ලන්ගේ හිත්වලට නැති කරදර පටවන්නේ නැතිව හොඳින් ඉන්න.. ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදෙයක්ම මම කරනවා...

කාලගුණයත් හොඳට තිබ්බ නිසා හවස අපි හතරදෙනාම එලියට ආවා ටිකක් ඇවිදින්න.. මට සීතට අඳින්න ඕනේ කරන හැමදෙයක්මත් අම්මි අරගෙන දුන්නා.. හෙට පන්තියට ගෙනියන්න ඕනේ කරන දේවල් එහෙමත් අරගෙන දුන්නා..  අන්තිමට හතර දෙනාම ලොකුම ලොකු පිට්සා එකක් කාලා ගෙදර ආවා.. හෙට ගැන පොඩි බයකුත් හිතේ තියන හින්දාද මන්දා  රෑට කන්න නම් බඩේ කොහොමත් ඉඩ නෑ.. අනේ දෙවියනේ හෙට දවස මට හොඳම හොඳ එකක් කරලා දෙන්න...

------------------------------------------------------------------------------------------------------------
" ලොකූ ඉක්මන් කරන්න... තාත්තා වැඩට යන ගමන්මයි ඔයාව පන්තියට දාන්නේ.. තාත්තාට වෙලා යනවා ලමයෝ.. "
"මේ එනෝ.. තව චුට්ටයි..."

"ආ.. මේ ඇප්ලිකේශන් එක පුරවලා තියෙන්නේ.. මේක මතක් කරලා අතේම තියාගන්න.. නැත්නම් තාත්තාට හදිස්සියට ඕක අමතක වෙයි.. "
" හ්ම් හරි අම්මා..."
" දැන් ඉතින් ඉක්මනට පහලට දුවන්න.. තාත්තා පහලට ගිහිල්ලත් ඉවරයි... පරිස්සමෙන්.. ජේසු පිහිටයි.."
"මං ගිහින් එන්නම් අම්මේ.. ජේසු පිහිටයි.."


සෑහෙන දුරක් ඇවිත් තාත්තා ලොකුම ලොකු ගොඩනැගිල්ලක් ගාවින් බයික් එක නතර කලා.. මම හිතන්නේ මෙතන තමයි තැන.. බයික් එකෙන් බැහැලා මම කටත් බෙරිකරලා තාත්තා දිහා බලද්දි තාත්තාට නම් හිනා.. මාව එක අතක එල්ලගෙන අනිත් අතින් ඕනේ කරන ලියකියවිලිත් අරන් තාත්තා කෙලින්ම ගියේ ඔෆිස් එක දිහාවට.. එතන උන්නේ මැදි වයසේ වගේ ගෑණු කෙනෙක්..රතුවට හුරු  කොන්ඩෙත් කොටටම කපලා.. බලපු බැල්මට නම් කරුණාවන්ත පාටයි.. ගෙනිච්ච ලියකියවිලි ඔක්කොම එයාට භාර දීලා එතන අත්සනුත් කරලා තාත්තා නම් යන්නත් ලෑස්තිය.. බය වැඩිකමට මගේ බඩත් රිදෙනවා වගේ.. දිගම දිග කොරිඩෝවක් පාස් කරලා කොන්ඩේ රතු ගෑණු කෙනා කිව්ව පන්ති කාමරේ නම් හොයාගත්තා.. තාත්තා ඒකේ දොරට තට්ටු කරාම දොර ඇරියේ නම් බලන්න ලස්සන එච්චර වයස නැති තරුණ පහේ ගෑණු ලමයෙක්.. එයා මං දිහාව බලලා මොන මොනාදෝ කියලා ලොකුම ලොකු හිනාවකින් මාව පිලිගත්තා..
" මෙයා තමයි ඔයාගේ ටීචර්.. දැන් ඇතුලට යන්න.. ඇරෙන වෙලාවට ඔයාව ගන්න මම ගේට්ටුව ගාවට එන්නම් "
" හ්ම්ම්ම්... "
 මගේ අලුත් ටීචර් මගෙ අතකින් අල්ලගෙන ඇතුලට එක්කන් ගියා.. පස්සේ හිටපු සේරම ඉස්සරහ මාව ප්‍රදර්ශනේට වගේ හිටවලා මගෙ නම කියලා මොන මොනාදෝ කිව්වා.. මං හිතන්නේ ඒගොල්ලන්ට මාව අඳුන්නලා දුන්නද කොහෙද... පන්තියේ ලමයි නම් වැඩිය නැති පාටයි.. 10 ක් 12 ක් වගේ තමයි හිටියේ.. ජාති ජාති මූණු.. චීන වගේ මූණකුත් තියෙනවා.. මේ සේරමත් එක එක ජාති ලමයි වගේ.. භාශාව ඉගන ගන්න තමයි මෙහෙට ඇවිත් ඇත්තේ මං වගේම... කොනකම තිබුන පුටුවකට ගිහින් මාත් ඉඳගත්තා වෙන්නේ මොනාද බලන්න...වටපිටේ ඇස් ඇරලා බැලුවේ වැරදිලාවත් ලංකාවෙ කවුරුත් ඉන්නවද බලන්න මොනා බලන්නද එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක්ම ඉන්නවා කොල්ලෝ... :( කෙල්ලො එකෙක්වත් නෑ.. ලෝබ නැතුව  දෙන්නාම හොඳට හිනාවෙනවා.. බැලූ බැල්මට හොඳයි වගේ.. මාත් ඉතින්  හිනා වුනා..

චූටි ටීචර් එකටම කිව්වේ අපේ නම් ලොකූවට කොලේක ලියලා ඩෙස්කේ උඩින් තියාගන්න කියලා.. පස්සේ හැමෝම දන්න විදියට තම තමන්ව අඳුන්නලා දුන්නා.. මම තමයි එතන වයසින් අඩුම.. චීනේන්, ඉන්දියාවෙන්, ඊජිප්තුවෙන්, කොලොම්බියාවෙන්, ඒක්වාදොර් වලින් පේරූ වලින් තවත් අහලවත් තිබුනේ නැති රට වලින් ආපු ලමයි.. අමුතු අමුතු නම්, මතක තියාගන්නත් අමාරුයි.. ඇයි අපේ නම් කියාගන්න ඒගොල්ලෝ විඳින දුකක්.. කියන විදියට හිනාත් යනවා.. හිතුවට වඩා පන්තිය හොඳයිනේ.. එක අතකට මෙච්චර රටවල් ගොඩක අය අඳුරගන්න හම්බ වෙන එකත් කොච්චර දෙයක්ද...
ඊලඟට කියා දුන්නේ ඉතාලි භාශාවෙන් "මගෙ නම සෙනුලි"  කියලා ලියන හැටි... ඒ ලියන්න පාත් වෙනකොටම පිටිපස්සෙන් පාවෙලා ආපු කොල ගුලියක් මගේ මූණ හරහා වැදුනා... පිටිපස්ස හැරිලා බැලුවම ලංකාවේ දෙන්නා මං දිහා බල බල හිනා වෙනවා..

Wednesday, April 11, 2012

ගල් ගැසුන සිත් අතර.. II


ඇඳට වැටෙනවා විතරයි දන්නේ.. මට ආයෙම හොඳටම නින්ද ගිහින්.. පිටි ගෝනියක් වගේ දෙයක් මගෙ ඇඟට පාත් වෙනවා වගේ දැනෙනවත් එක්කම මාව උඩ ගිහින් ඇහැරුනේ අන්දුන් කුන්දුන් වෙලා... ආයෙ මොනා බලන්නද ඉතින් ඔය වගේ වැඩක් කරොත් ඉතින් අපේ පොඩි අඟ තමයි...
"අපෝ මොකද අක්කෙ ඔය?? ආව වෙලේ ඉදන් මූණ දෙබර කූඩයක් වගේ පුම්බගෙන හූල්ල හූල්ල ඉන්නේ.. එක්කෝ මූණ කචල් නැත්නම් නිදි... අපෝ... "
"මෝඩියේ ඔය බැරල් ඇඟ මගෙන් අහකට ගන්නවා.. නැත්නම් මාව පොඩි වෙයි.. අනික මේ සීතේ වෙන මොනා කරන්නද.. නිදාගන්න තමයි හොඳ.. නිකන්ම නින්ද යනවා.."
" ආ.. ඇත්තද.. නිදාගන්නවද නැත්තන් අරයා ගැන හීන මවනවද.. "
" නංගි මේ.. අම්මට කතා කරන්නද?? "
"අපෝ නෑ නෑ.. මගේ සුදු අක්කි පැටියා.. මම ඉතින් ආදරේටනේ.. උම්මා.. "
"හරි හරි.. මේ බබෝ අපි අම්මිගෙන් අහලා ටිකක් එලියට යමුද?? "

ජැකට් එකයි දනිස් දෙකටම තියෙන බූට්ස් දෙකකුයි දාගෙන මායි නංගියි එලියට බැස්සේ වටපිටාව පොඩ්ඩක් බලාගන්න හිතාගෙන... බලන බලන හැම පැත්තෙම සුදු හිම විතරක්මයි...හුස්මක් ගන්න හැමසැරේකම සුදු පාටට දුම් වලල්ලක් නැගුනේ සීත වැඩිකමට වෙන්න ඕනේ.. අඩියක්වත් ගහලා නැති සුදු හිම තට්ටුවක් උඩ මම මගේ නම ලියන්න පාත් වෙලා ඉන්නකොට මුලු ඇඟම හිරිවැටිලා යන්න තරමේ හිම බෝලයක් මගේ මූණ හරහා වැදුනේ නොහිතපු විදියට.. ඒත් එක්කම හිම ගුලියක් අතට අරගෙන නංගිට ගැහුව පාර නංගිගේ කොන්ඩේ පුරා හිම කැට.. හිම බෝල වලින් ගගහා වැඩි වෙලාවක් ඉන්න හම්බ උනේ නෑ, ටික වෙලාවක් යනකොට කකුල් අත් ගල් වෙලා වගේ කිසිම හැඟීමක් දැනීමක් නැති තරමටම... වැඩි හිනා වෙන්නත් බෑ සීතලට තොල් පැලෙන්න බලනවා...

"ඔහොම හිනා වෙලා ඉන්නවකො අක්කේ.. මෙහෙට පුරුදු වෙනකොට සේරම හරි යයි.."
එහෙම කියලා නංගි මගෙ අතකින් තද කරලා අල්ලගත්තේ මාව සනසන්න වගේ.. හැමෝම මට ආදරෙයි. එක අතකට මේ තරම් දුක් වෙන්න දේකුත් නෑ.. හැමදේම වෙන්නේ හොඳට කියනවානේ..
"හ්ම් හ්ම්.. දැන් යමුද?? පැලෙන්න සීතයි.."
"යමු.. හෙට අපි අම්මිගෙන් අහලා මගේ යාලුවෝ හම්බ වෙන්න යමු හරිද??.. එතකොට අක්කිට ඒ සේරමල්ලවම අඳුරගත්තෑකි.. "
"යමු යමු.. දැන් ඉතින් ඔයා දන්න හැමතැනකම මාව එක්ක යන්න වෙනවා.."
"අයියෝ යන්නම්කො එක්කගෙන.."

මෙහෙ දවස ගෙවෙන්නේ හරිම හිමීට වගේ.. වෙලාව යන්නෙත් නෑ.. ඒත් හවස හතරහමාර පහ පහු වෙනකොට කලුවර වැටෙනවා.. ටීවී එක බලන්න ඉඳගත්තත් ඒකේ කියන එව්වා තේරෙන එකක්යැ.. නිකන් රූප දිහාව බලන් ඉන්න එක තමා.. පලවෙනි දවස ඔහොම හරීම හිමීට ගෙවිලා ගිහින් පහුවෙනිදා උදේන්ම නංගි මාව ඇහැරෙව්වේ එයත් එක්ක යාලුවෝ හම්බවෙන්න යන්න .. මොනා කරලා හරි කමක් නෑ මට ඕනේ උනේ මේ පාලු ගතිය ටිකක් මඟඇරගන්න..යන අතරමඟ ටවුන් එකට යන බස් එක ගන්න හැටි.. බස් ටිකට් එක ගන්න තැන් ඒ දේවල් සේරම මට කියාදෙන්නත් නංගි අමතක කරේ නෑ.. බලන බලන් හැම අතේම ගොඩනැගිලි.. ගස් වල එක කොලයක් නෑ.. බැලූ බල්මට හරිම මූසල පෙනුමක් තියෙන්නේ.. නංගි නම් කියන්නේ ඒ සීත කාලේ හින්දලු.. කතාවෙන් කතාව ටවුන් එකටත් ඇවිත් දෙන්නම බස් එකෙන් බැහැලා පයින් ටික දුරක් අවිදන් ගියේ පාක් එක දිහාවට.. යනකොටත් බංකුවක් උඩට වෙලා ලංකාවේ කියලා හිතන්න පුලුවන් ගෑණු ලමයෙකුයි තව සුදුම සුදු කෙල්ලො කොල්ලො දෙතුන් දෙනෙකුයි බලාගෙන ඉන්නවා...
"ආහ් මේ ඉන්නේ කස්ටිය... සඳු මේ තමයි අපේ අක්කි." කට පුරා හිනා වෙච්ච කෙල්ල නම් හරිම හොඳ පාටයි.. අනිත් අය නම් කටත් ඇරන් බලන් ඉන්නවා අපි සිංහලෙන් කතාකරනකොට.. නංගි නම් මොන මොනාදෝ කිව්වා ඒත් එක්කම කට්ටියම මට අතට අත දීලා මාව අඳුරගත්තා... මම නම් කරේ හිනා වෙන එක විතරමයි.. බැන්නා උනත් තේරෙන එකක් යැ ඉතින්...

ටවුන් එකේ හැම අස්සක මුල්ලකමයි ඇඳුම් කඩයක් ගානෙයි කට්ටිය මාව ඇවිද්දුවේ හරිම උනන්දුවෙන්.. මෙයාලට නම් මේ හරිය හොඳට පුරුදු පාටයි.. කඩයක් ඇතුලට ගිහින් කට්ටිය එලියට බහින්නේ make-up උලාගෙන.. සෙන්ට් ගහගෙන හරියට මෙයාලාගේ වගේ.. මට නම් හිතට බයයි ඔව්වා කරන්න.. ඒත් එකෙත් පොඩි ජොලියක් නොතිබ්බම නෙමේ... අද දවස නම් නංගිගේ යාලුවොත් එක්ක ගෙවුනේ පාලුවක් නැතිව.. පුරුදු වෙනකොට හැමදේම හරි යයි කියලා මටත් දැන් හිතෙනවා.. නංගි ඉන්න එක මගෙ හිතට ලොකු හයියක්...

-----------------------------------------------------------------------------------------------
අද සෙනසුරාදා.. සඳුදාට භාශාව ඉගෙන ගන්න පන්ති යන්න ඕනේ කියලා තාත්ති කිව්වා.. යන්නත් නිකන් මොකක්ද වගේ.. නොයාත් බෑ.. සඳුදා මට කොච්චර එපා කරපු දවසක් වෙයිද දන්නේ නෑ.. උෆ්ෆා...
"නංගි භාශාව උගන්නන්නත් ඉන්නේ මෙහෙ කට්ටියමද?? "
" හ්ම් ඔව් ඉතින්.. "
"ඉතින් මට මෙයාලා කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ බබෝ.. :/ "
"තේරෙයි තේරෙයි.. ඒගොල්ලෝ රඟපාලා උගන්නනවා.. බය වෙන්න එපා අනේ.."
" :/ ඔයා නම් කියයි "
දෙයියනේ මට නම් බයේ බෑ.. දැන් ඉතින් ඉක්මනට සඳුදා වෙයි...

Tuesday, April 10, 2012

ගල් ගැසුන සිත් අතර..


නින්දත් නොනින්දත් අතර ඇඳේ කොන්කට ගුලි වෙලා ඉන්නකොට එකපාරට ඇහැරුනේ සීතල වැඩිකමට වෙන්න ඇති.. අන්ධකාරේ අතපත ගාලා ෆෝන් එක ඔබලා බලද්දි වෙලාව පාන්දර 2.36.. වටපිටාව තවමත් ඇස් දෙකට හරිම නුහුරුයි.. දෙයියනේ මම කොච්චර දුර ඇවිත්ද.. නොදැනුවත්වම ඇස් කොනෙන් ගලා ගෙන ආපු කඳුලු බිංදුවක් කම්මුල දිගේ ගලාගෙන යනකොට මම මූණ කොට්ටෙට තද කරලා ඔබා ගත්තේ දුක වැඩිකමට.. ඒ විදියට මම කොච්චර වෙලාවක් ඇස් ඇරිලා උන්නද කියන්න මට මතක නෑ.. මහන්සිය වැඩිකමටද කොහෙද උදේ අම්මා ඇවිත් මට කතා කරනකන් මම හිටියේ තද නින්දේ.. ඇස් දෙකට හරිම මහන්සියක් දැනෙන්නේ.. අම්මටත් වැඩි මූණ නොදී මම නාන කාමරයට රිංග ගත්තේ රෑ තිස්සෙ අඬලා ඉදිමිච්ච ඇස් දෙක හංගගන්න...

ඉක්මනින් මූණ කට හෝදගෙන මම කුස්සිය දිහාවට ඇවිදගෙන ගියේ හිස්පතුලෙන්මයි.. මගේ අම්මේ කකුල් ගල් වෙන තරමේ සීතලක් දැනෙන්නේ..ඇතුල මෙහෙම නම් එලියට ගියාම කොහොම තියේද කියලා හිතෙනවා.. මම යනකොටත් අම්මි මගේ කිරි එක හදලා බලාගෙන ඉන්නවා..
"දුව මම ඔයාට සෙරෙප්පු දෙකක් දුන්නේ ගේ ඇතුලේ ඉන්නකොට දාගෙන ඉන්න.. ඔහොම නිකන් ඉන්න එපා ලමයෝ හොඳ නෑ.. මේ ලංකාව නෙමේ.. ඔයා සීතලෙන් පරිස්සම් වෙන්න ඕනේ.. නැත්තම් ඔව්වා බලපාන්නේ ඉස්සරහට..."
"මේ විදියට ගියොත් නම් නැති ලෙඩත් හැදෙනවා තමයි අම්මා.. ලංකාව කොච්චර හොඳද. මට ආව පලවෙනි දවසම එපා වෙලා.. බිංගුහාවක් වගේ ගෙයක් ඇතුලට රිංගගෙන.. මම කලින්ම කිව්වානේ බෑ කියලා.. මට මෙහෙ ඉන්න බෑ..."
"ඇයි? මොකක්ද ඔයාට මෙහෙ තියන අඩුපාඩුව? මම ඉන්නවා තාත්ති ඉන්නවා නංගි ඉන්නවා.. කන්න ඕනේ නම් කන්න තියෙනවා.. තවත් මොනාද.."
"ඒත් අම්මා.."
"ඔය කතාව ඔතනින් නවත්ත ගන්න සෙනුලි.. ඔයයි මායි හොඳටම දන්නවා ඔයාව හදිස්සියේ මෙහෙට එක්ක ගත්තේ ඇයි කියන එක.. ආච්චි අම්මා නෙමෙයි මම ඔයාගේ අම්මා.. එයත් එක්ක හුරතල් උනා වගේ මාව මෝඩයට අන්දන්න හිතන්න එපා.. ඔයා වෙනුවෙන් තීරණ ගන්න තාම මායි තාත්තයි ඉන්නවා.. අපි මැරෙන දවසක් එනකන්ම කරන්නේ ඔයාට හොඳක් මිස නරකක් නෙමේ.. ඒක නිසා වචන නාස්ති නොකර ඔයා තේ එක බොන්න.. ඔයා ඔලුවෙන් හිටන් කිව්වත් ඔයාව අයේ තනියම ලංකාවට යවන්නේ නෑ.. එච්චරයි.. "

අපේ අම්මි ගොඩාක් තදයි.. මොන දේ උනත් එයාට එහා වචනයක් කතා කරන්න මට හයියක් තිබුනේ නෑ.. මගෙ අතෙත් වැරදි තියෙන්න ඇති.. ඒත් ලංකාවෙ උන්න යාලුවෝ, ඉස්කෝලේ, අමිල අයියා.. ඒ හැමෝම දාලා මේ තරම් දුර රටකට එන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ..
කතා කරන්න කාත් කවුරුවත් නැතුව තනියම ඉන්නකොට හිතට දැනෙන පාලුව දරාගන්න බෑ... අමිල අයියා තමයි මගේ බෝයි වෙලා හිටියේ ඒත් එහෙම කිව්වට අපි උන්නේ යාලුවෝ වගේ ගොඩාක් ලඟ යාලුවෝ වගේ.. මම එයාට ඇත්තට ආදරේ උනාද කියලාවත් මම දන්නේ නෑ.. ඒත් මම එයාට කැමති.. එයත් එක්ක කතා කරන්න, ඇවිදින්න, හිනාවෙන්න මම ගොඩාක් කැමති..එයා හරිම හොඳ කෙනෙක්.. මට කන්න දේවලුත් ගොඩාක් අරන් දුන්නා.. හිනායන දේවලුත් ගොඩාක් කිව්වා.. සමහර වෙලේට මම එයාට ගුටිත් දෙනවා.. අනේ මට එයා නැතුව පාලුයි...අම්මිලාට අපි දෙන්න අශ්‍රය කරන එක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් උනේ ඇයි කියලා මට හිතාගන්නවත් බෑ..දැන් මම මෙහේ තනියම ගෙදරකට හිර වෙලා.. අමිල අයියත් ඇත්තේ ගොඩක් දුකෙන්.. ලංකාවට යන එක හීනයක් විතරයි....

කවුලුව අතරින් බිම පුරා ඉහිරුනු සුදු හිම තට්ටුව උඩ වෙච්ච හැමදෙයක්ම මැවිලා පේනවා වගේ.. ඒ හැමදේම බොඳ කරමින් උණුසුම් හුස්මට වීදුරුව පුරා පැතිරුනු මීදුම් තට්ටුව උඩ දුක හිතුන මූණක් අදිනකොට අත ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුන තාත්තිගේ කටහඬට...
" ඇයි දුව දුකෙන්ද ඉන්නේ..? යාලුවෝ නැතුව පාලුද? "
" හ්ම්.. ඔව් තාත්ති.."
"ඕක ඇරිලා යයි දූ ඔයාට මෙහෙ අලුත් යාලුවො හම්බ උනාම.. ඔයාට ලඟදිම හම්බ වෙයි යාලුවෝ ගොඩාක්.. "
එහෙම කියමින්ම තාත්ති මගෙ අවුල් වෙච්චි කෙස් පිරිමදින ගමන් යන්න ගියේ මූණ පුරා පිරිච්ච හිනාවකුත් එක්ක..

තාත්ති ගොඩක් වෙනස් අම්මි වගේ නිතර තරහ ගන්න කෙනෙක් නෙමේ.. ඒත් තරාගියාම එයා තරම් වස කෙනෙකුත් නෑ.. ඒ හින්දා අම්මි මං ගැන විස්තර මොකුත් තාත්ති එක්ක කියලා තිබුනේ නෑ.. දැන ගත්ත දවසට මොනා වෙයිද දන්නෙත් නෑ.. ඒ හැමදේම ගැන හිතලා අම්මි මාව මෙහෙට එක්ක ගත්ත එක ගැන එයාට වරදක් කියන්නත් බෑ.. ඉහලට ගත්ත දිග.... හුස්මක් පාතට දාන ගමන් මම ඇඳට පැන්නේ ඉස්සරහට වෙන්නේ මොනාද කියලා හිතාගන්නවත් බැරුව...

Monday, February 27, 2012

හීන කියන්නේ හීන වලට....




අල්තාරෙටත් පිටුපාලා පූජාවට ඇවිත් උන්න සෙනඟ සේරමත් බලන් උන්නේ මනමාලි පල්ලියට ඇතුල් වෙන්නේ කොයි වෙලේද කියලා.. හීනියට ඇහුන කසුකුසුවකුත් එක්කම ඔක්කොමලා නැගිටලා හිටගනිද්දි කන්තාරු කණ්ඩායමේ ලමයි ටිකත් ලස්සනට පොට්ටු පොට්ටු ගීතිකාව පටන් ගන්නකොට මමත් පැතුම්ට බර දීලා ඇඟිලි තුඩු වලින් හිටගෙන පිටිපස්ස බැලුවේ මනමාලිගේ මූණ හොද හැටි බලා ගන්න... මෙච්චර කාලෙකට බලා හදා ගත්තු අම්මයි තාත්තයි මැද්දට වෙලා හිමින් සීරුවේ අල්තාරය දිහාවට සුරංගනාවියක් වගේ අඩි තියන කෙල්ලව දැක්කම මගේ ඇස් දෙකට කදුළු ඉනුවේ මටත් නොදැනිම වගේ..

---------------------------------------------------------------------------------

මට තාම මතකයි. මේ වගේ මඟුල් පූජා කීයක් නම් දැකලා ඇතිද...ඒ දවස් වල මම උන්නෙත් පල්ලියේ කන්තාරු කණ්ඩායමේ... මහ පල්ලියෙ තිබුන හැම මඟුල් පූජාවකටම ගීතිකා කිව්වේ අපි.. වෙනස් වෙනස් මනමාලියෝ ඕනා තරම් දැකලා තිබුනත් ඒ අය දකිනකොට හිතින් හිතුවේ කවදාකම හරි මටත් මේ වගේම මේ පල්ලියෙම මගේ හීනකුමාරයාගේ අතින් සදහටම අල්ලගන්න පුලුවන් වෙයිදෝ කියලයි...මංගල සීනු හඬ මැද්දෙන් පල්ලිය මැදින් අල්තාරයට ඇවිදගෙන යන මනමාලියකගේ ඇස් වල කොයි තරම් බලාපොරොත්තු තියෙනවද.. ඒ දිහාව බලාගෙන ඉන්නත් ආසයි..
හැම කෙල්ලෙක් වගේම මමත් හීන මැව්වේ ඒ වගේම ලස්සනම ලස්සන මනමාලියෙක් වෙලා හැමෝගෙම ආශිර්වාදෙත් එක්කම මට ගොඩාක් ආදරේ කරන හීනකුමාරයෙක් එක්ක මගේ මුල ජීවිතේම ගෙවන්න....
චාමෙට සැලසුම් කරපු මඟුල් ගෙදරක, එන හැමෝගෙම ඇස් යන අහිංසක මනමාලියෙක් වෙන්න...

එක විශේෂ දවසක්...එදා මට වගේම අපේ කන්තාරු කණ්ඩායමේ කට්ටියටම ගොඩාක් විශේෂ දවසක් උනා.. අපිත් එක්කම අනිත් අය අතිනත ගන්න දවසේ ඒ අය වෙනුවෙන් ගීතිකා කියපු අපේම සාමාජිකාවක් වෙනුවෙන් එදා අපි ගීතිකා කියන්න සූදානම් උනා...
ඒක ඇත්තටම ලස්සන දවසක්.. අමතක කරන්න බැරි දවසක්.. ඒ වගේම මගෙ ජීවිතේටත් ගොඩාක් බලාපොරොත්තු එකතු වෙච්ච, මගේ ජීවිතේ ලොකුම ලොකු වෙනසක් ඇති කරපු දවසක් උනා..එදා තමයි මට පැතුම්ව මුලින්ම හම්බවෙච්ච දවස... එදායින් පටන් ගත්තු අපේ කතා බහ කවදාවත් අතාරින්න බැරි තරමේ ආදරයකට පෙරලුනේ අපිටත් නොදැනිම වගේ... මට දැනුනේ මම බලාපොරොත්තු උන හීනකුමාරයා මගේ ඇස් ඉදිරිපිට වගේ.. ඒ දවස් හරිම ලස්සනයි... මතක් වෙනකොටත් ලෝබ හිතෙනවා...

අතීත මතක වල සක්මන් කරපු හිත පියවි ලෝකෙට ආවේ ආයෙම පැතුම්ගෙ කටහඬ ඇහෙනකොට....
" මොනාද කල්පනා කරන්නේ?? "
" නැහැ.. මනමාලි හරිම ලස්සනයි නේද පැතුම්?? "
" හ්ම්.. "
එවෙලේ පැතුම්ගේ ඒ ඇස් වල අසරණකම මට හිතට දරාගන්න බැරි තරම් දුකක් දුන්නා..
පූජාව අවසානෙට කට්ටියට කතාත් කරලා මායි පැතුමුයි පාර දිගේ පයින්ම ඇවිදගෙන ආවේ ගෙවල් පල්ලිය අහල පහල හින්දා...
මේ වෙනකන් වචනයක්වත් කතා නොකරපු පැතුම් එක පාරටම " මට සමාවෙන්න චතුරි " කියද්දි මට එයා දිහාව බැලුනේ පුදුමෙන් වගේ...
" මම දන්නවා ඔයත් මනමාලියෙක් වෙන්න ගොඩක් හීන මැව්වා කියලා.. ඒත් මට ඔයාට ඒ හීනේ හැබෑ කරල දෙන්න බැරි උනා.. ඔයා මට නොකිව්වට මඟුල් ගෙදරක යන වාරයක් වාරයක් ගානේ හිතින් දුක් වෙනවා කියලා මම දන්නවා.. "
" හීන කියන්නේ හීන වලට පැතුම් ... හැම හීනයක්ම සැබෑ වෙන්නේ නෑනේ.. දකින හීන සැබෑ කරගන්න පුලුවන් වෙන්නේ ගොඩාක් වාසනාවන්ත අයට... මම අවාසනාවන්තයි කියනවා නෙමේ.. මොකද ඔයා වගේ කෙනෙක් මට ලැබුන එකම ඇති.. මොන දේ වෙලා හරි අද අපි දෙන්නා එකට ඉන්නවානේ පැතුම්.. මට ඒ ඇති.. "
" මෙව්වා අපේ දෙමව්පියන්ගෙ වැරදි චතුරි... ඒ ගොල්ලො අපිට නැති කරේ අපිට ගොඩාක් වැදගත් අවස්ථාවක්.."
"ගිය දේවල් වැඩක් නෑ පැතුම්... හැමෝගෙම අකමැත්තෙන් හරි මම ඔයත් එක්ක ආවට මට වැරදිලා නෑ.. ඒක ඒ ගොල්ලෝ කවදා හරි තේරුම් ගනී... මම හැමදාම දෙයියන්ගෙන් ඉල්ලන්නෙත් එයාලට අපි ගැන තරහක් හිතේ තියන්න එපා කියලා.. "
කතාවෙන් කතාව ගෙදරටත් ලං වෙලා.. මෙතන මට තියන සැනසීම වෙන කොහෙවත් නෑ.. හිතින් මැව්ව හීනයක් හැබෑ කරගන්න බැරි උනා කියලා මට දුකක් නෑ, මොකද ඒ දුක අමතක වෙන්න තරම් සතුටක් පැතුම් එක්ක අපේ පුංචි ගෙදර මට තියෙනවා.. මුලු ජීවිතේ පුරාවටම මට ගොඩාක් ආදරේ කරන කෙනාගේ අතින් සදහටම අල්ලගන්න මම වාසනාවන්ත උනා...
ජීවිතේ අහිමි වෙච්ච දේවල් ගැන මට දුකක් නෑ.. ලැබුනු දේවල් ඊටත් ඉහලින්....

Monday, January 30, 2012

පැතුම් නොපැතුවා නොවේ මා නිති..


දෑස් පියාගෙන සිතින් ඔබ ලඟ...
පහස විඳිනට කලා මා රිසි..
දුරින් හිඳ වුව කියන වදනකට..
මුවඟ සිනහා මතු වුනා නිති...
ඔබ නොලැබෙන බව සිතට දැනුනත්..
කඳුළු ඉනුවා දෙනෙත් අග පිණි..
ඔබ ලබන්නට ඔබෙම වෙන්නට ...
පෙරුම් පිරුවා සදා මා හිමි...

නිරන්තරයට අත්වැල් පටලා...
එකට පියමන් කළේ නෑ අපි...
දිනෙන් දිනටම ඔබ මා, මා ඔබ..
දෙනෙත් අබියස දුටුවෙ නෑ අපි...
එහෙත් ඒ ලෙස ඔබ ලඟ ඉන්නට, ඔබ දකින්නට..
පැතුම් නොපැතුවා නොවේ මා නිති..
නමුදු දිනයක වෙන්ව දෙපසක...
පෙමින් තොර ලොවක් පැතුවේ නෑ අපි...