Saturday, June 30, 2012

ඉතින් යනවද??



අහඹු මොහොතක හමු වුනේ ඔබ ..
මතකද දවසක නෙතු දහසක් මැද...
නුහුරුම හැඟුමක් දැවටුන සිත ලඟ..
එකලු කලා නව පැතුම් පොදි බැඳ...

දඟකාර නුඹේ වදන් අද්දර..
නැවතුනා සිත මටත් නොදැනිම.
ආදරයක්දෝ මුලු සිතින් කල..
ගනිච්චියක් නෑ මේ හැඟුම් ගැන..

ආදරේද මට ඇහුවේ නෑ මම..
ආදරෙයි මම කිව්වේ නෑ මම..
තනිව ආදරේ කලා රහසෙම..
නිච්චියක් නෑ යනතුරු වෙනතක...

මිතුරියක නමක් පමණක් දී මට..
රුවැත්තියක් අත පටලා වෙනතක..
ඉතින් යනවද?? යන්නම යනවද ..
ආයෙම දිනයක හමු නොවෙන්නම..

Thursday, June 21, 2012

කන්‍යාවකගේ කතාව...



ට්‍රීං ට්‍රිං ...

"අනේ මධූ හොඳ ලමයා වගේ බලන්න කවුද කියලා.."
 හිඳගෙන උන් වැඩය අහක දමා තකහනියක් නැගිටීමට නොහැකි නිසා මා මඩමේ උදව්වට සිටි ගැහැණු ලමයෙකුට කීවෙමි... ඈ හනික දිව ගියේ දුරකතන ඇමතුම කාගෙන්දැයි බැලීමටය...
පව් අසරණ ගෑණු ලමයි.. ගෙවල් වල අඟ හිඟ කම් වැඩි නිසාම මඩමේ ජීවිතයට ඇලුම් කරන හැටි.. මගේ තනි සිතට ඔවුන් ගැන ඇති වන්නේ අනුකම්පාවකි..
අඟ හිඟ කම් නොතිබුන මුත් මාගේ ජීවිතය මෙහි නැවතීමට හේතුවූ කාරණා බොහෝමයකි.. ඒ අතීත දුක් ගැන පසුතැවීම මා අත් හැරියේ මෙහි පැමිණි පලමු දින වලදීය...

" සිස්ට.. ඔයාගේ නැන්දා කතා කරනවා.. පණිවිඩයක් තියෙනවලු කියන්න.. ලයින් එකේ ඉන්නවා.. සිස්ට යන්න මම ඕක කරන්නම්.. "
සුදු රෙදි කඩකින් අත පිස දමමින් මා දුරකතනය වෙත පා නැගුවේ කුතුහලයෙනි.. නැන්දා කුමන කාරණයක් සඳහා මා අමතනවා දැයි මට සිතා ගනු නොහැකි විය.. ඉඳහිට හෝ මාගේ සැප දුක් විමසා බැලුවේ ඇය පමණි.. පුංචි කල සිටම මාගේ මවටත් හොඳම මිතුරියටත් සිටියේ ඇයයි.. ලොකු අම්මා ලෙඩ වීමත් සමඟම ඇය මාගේ සහ අයියාගේ බර කරට ගත්තේ කිසිම පැකිලීමක් නොමැතිවය.. ඔවුන්ගේ පවුලටද අඩුපාඩු නොතිබුනාම නොවේ.. පෝෂණය කිරීමට ගැහැණු දරුවන් දෙදෙනෙක්ම සිටියදී අපේ සැප දුක් බැලූ නැන්දාට අදටත් මා මවකට මෙන් සලකන්නේ එම නිසාවෙනි... අද මා මෙහි සිටිනවා නම් ඒ ලොකු අම්මා සහ නැන්දාගේ කරුණාවන්ත කම නිසා පමණක්මය..
" නැන්දේ.. ජේසු පිහිටයි.. "
" ජේසු පිහිටයි දුව..ඔයාට කොහොමද? මම මේ ඔයාට කතා කරේ හදිසි පණිවිඩයකට.."
" මම හොඳින් නැන්දේ.. මොකක්ද හදිස්සිය..?" එවර  ඇගේ කටහඬේ වූ බැරෑරුම් කම නිසාම  මාගේ හදවතට දැනුනේ අමුත්තකි..
" ඔයාගේ තාත්තා අසනීපෙන් දුව..එයාට සෑහෙන්න අමාරුයි.. ඔයා ඇවිත් කතා කරලා ගියොත් හොඳයි කියලා මට හිතෙනවා"
" තාත්තට?? "

මං දන්නා තරමින් නැන්දා සහ මාගේ තාත්තා අතර ඇයි හොඳයියක් නොවීය.. ඒත් අප නිසාමය.. මන්දයත් නමට පමණක් මගේ පියා වූ ඔහු අපට කලේ බාප්පා කෙනෙකුවත් තම බිරියගේ දරුවන්ට නොකරන දේය.. මාගේ ජීවිතයේ තාත්තා යන නාමයට වැදගත් තැනක් නොම වූයේ එමනිසාමය..
මා ඉපදී මාස තුනක් යන්නටත් ප්‍රථම මාගේ මව මෙලොව අතහැර ගියේ දරු තිදෙනෙක් මෙලොව තනිකර දමාය..
අපේ කරදඩු උස් මහත් වන තුරු අම්මාට කියා අපට උන්නේ ලොකු අම්මා පමණි.. නැන්දා ඇගේ බාලම දියණිය වූවෙන් පුංචි කල සිටම අපි ඇයට ලැදි වූයෙමු... එකල තාත්තාගේ කල් ක්‍රියාව ගැන මොනයම් වත් අවබෝධයක් නොවූවත් දැන් ඒ සෑම දෙයක්ම කිසිවෙකුට රහසක් නොවේ.. තරුණ ඉලන්දාරියෙකුගේ සහ ගැහැණු ලමිස්සියන් දෙදෙනෙකුගේ පියා යන්න දැන දැනම ඔහු නිවසට රැගෙන ආවේ කලින් කසාදයක් නොබැඳ හුන් මුත් ලමුන් දෙදෙනෙකුට මව වූ අපගේ කුඩම්මාවය.. ඇය කිසිම කරුණාවක් නොමැති ගැහැණියක් බව සැවොම දැන හුන් කාරණයකි...
ඇය ඇගේම දරුවන් ගැනවත් කරුණාවක් නොදැක්වූ කල අප ගැන කරුණාවක් නොදැක්වීම පුදුමයක් නොවුනි...
 අපේ පවුලේ වැඩිමල්ම දියණිය මගේ අක්කාය.. තරුණියකට පියෙකුගෙන් විය යුතු යුතුකම් ඉටු නොවන කල ඇය ඇගේම මනාපයට දීගයක ගියේ කිසිවෙකුටත් නොකියාමය..නපුරු කුඩම්මා ලඟ මාත් අයියාත් තනි වුනේ අවාසනාවන්ත ලෙසය.. මා ගැහැණු ලමයෙකු වූයෙන් කෑම බීම පිලිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් අයියාට එම අඩුපාඩුව මහමෙරක් ලෙස දැනෙනට ඇතිය.. අහලින් පහලින් හම්බ වූ පාන් නහට්ටක් හපමින් පාර දිගේ ඇවිදින ඒ අහිංසකයාව මතක් වෙන මතක් වෙන සැරේක මාගේ හද අදත් දැවී යයි.. අඩුපාඩු වැඩිවෙන්නට වූයෙන් අයියාද මා තනි කර දමා හමුදාවට බැඳුනේ හුදෙක්ම රට රකින නියාවෙන්ම නොවේ.. ගෙදරකින් තමාට ඉටු විය යුතු යුතුකම් ඉටු නොවෙනා විට එයින් වෙනතක යෑම පුදුමයක් නොවේ.. ටික කලක් ගත් වන විට අක්කා දරුවෙකු ලැබීමට සිටිනවා යැයි අපට කීවේ ඇයව මහ මඟ හමුවූ අයෙකි.. ඒ කාලයේදීම කුඩම්මාද දරුවෙක් අපේක්ශාවෙන් සිටියාය.. අක්කාගේ දරුවා අප පියාගේ දරුවාට වඩා මාස ගනනකින් වැඩිමල් වීම අපව කෙතරම් ලැජ්ජාවට පත් කලාදැයි කියා නිම කල නොහැක්කකි...
කාලය ගත් වනවාත් සමඟම මා දැනුම් තේරුම් ඇති තරුණියක් වූයෙන් නිවසේ සිදුවූ යම් යම් සිද්ධීන් මාගේ සිතට ප්‍රිය ගෙන දෙන ඒවා නොවීය.. ගෙදර හිඳීම පවා මා හට තිත්ත වෙමින් පැවතුනි..දවසින් වැඩි කාලයක් මා ගත කලේ නැන්දාගේ නිවසේය.. සිතෙහි ඇති වී තිබුනේ කලකිරීමක් වැන්නකි.. සෑම දේම මා ඔප්පු කලෙ දෙවියන් වහන්සේටය.. නිතරම දේවස්ථානයට ගොඩවී මාගේ දුක නිවා ගැනීම මාගේ සිත යම් ආකාරයක පහසුවකට පත් කලෙහිය.. සෑම සිදුවීමක් සමඟම කන්‍යා සොයුරියක් ලෙස දේවස්ථානයට කැප වීම කෙරෙහි මාගේ සිත ඇලුම් කරන්නට විය..එසෙහෙයින් මාහට වයස 18 ක් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී මා ජපමාල නිකායෙහි කන්‍යා සොයුරියන්ගේ නිවාසයට ඇතුල් වූයේ දෙවියන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබමිනි.. එසේ නොවන්නට අද මාගේ ජීවිතය කොයි යම් තැනක නැවතී තිබෙන්නට පුලුවන්දැයි මට සිතා ගන්නටවත් නොහැකිය..
අප පවුලේ තත්වය දිනෙන් දිනම අන්ත තත්වයට පත් වුනේ මාගේ අයියාගේ හදිසි මරණයෙනි.. අවුරුදු 23 වෙන්නටත් ප්‍රථම ඔහු රටටද සේවයක් කරමින් වුවද අකාලයේ නැසී ගියාට සම්පූර්ණ ලෙස වගකිව යුත්තේ මගේ පියා බව අදටත් මම නොබියව නොපැකිලී පවසන්නකි.. දේව දියණියක ලෙස පොරොන්දු දීමට මාස 3ක් තිබියදි ඔහු අපගෙන් නික්ම ගියත් මාගේ එම සුවිශේෂී මොහොතට කෙසේ හෝ නිවාඩු දමා පැමිණෙන බව පැවසූ ලිපියක් ඔහුගේ මරණින් පසු මා අතට ලැබුනේ මාගේ පපුව පලාගෙන යන තරමේ දුකක් සිතට එක් කරමිනි..අද දින වන විට මාගේ අක්කා ඇගේ දියණියන් දෙදෙනාම ඔවුන්ගේ පියා සමඟ තනිකර ඈත දුරක සේවයේ නිරත වන්නේ අඩුපාඩු දරාගත නොහැකි තැනය.. එහෙත් කිසිදු පැකිලීමක් ලජ්ජාවක් නොමැතිව අයියාගේ පඩියෙන් සම්මාදන් වෙන මාගේ පියාට ඒ ගැන කිසිදු තැකීමක් නැත්තා සේය... කුඩම්මාට දාව උපන් දරුවාට සියලු සැප  සම්පත් දෙමින් ඔවුන් රකින්නේ අකාලයේ මහපොලොවට යට කර දැමූ මාගේ අයියාගේ දහදිය බව හොඳින්ම දත් මාගේ පියාට අනික් දරුවන් මැරුනා සේය.. ඔවුන් ගැන තකන්නේද නැත.. මා ගෙවන ජීවිතය ගැන මට කිසිදු දුකක් නැත.. නමුත් පවුලේ කියා මට ඉතිරි වූයේ අක්කා පමණි.. අඩුම තරමේ ඇය ගැනවත් සොයා බැලීමට තාත්තාට පුලුවන් කම තිබේ. එහෙත් ඔහු ඒ ගැන සිතන්නේවත් නැත..ඇත්තෙන්ම මාගේ සිතේ ඔහු කෙරේ වූයේ තරහකි.. දෙවියන් වහන්සේගෙන් මා නිතර යැදුවේ ඔහු කෙරේ වූ හැඟීම පිලිබඳ මා කෙරෙහි අහිතක් නොහිතන ලෙසටය.. මන්දයත් එම හැඟීම මා කෙරෙන් කිසි දින පහල නොවන බව මා හොඳාකාරයෙන්ම දනිමි... 


 " ඔව් නැන්දේ.. මම එනවා එයාට කතා කරන්න.. මගේ හිතේ තියෙන දේවල් එයාට මැරුණයින් පස්සේ කියලා පලක් නෑ.. "
" ඔයා ලොකු සිස්ටගෙන් අවසර ගන්න.. ඒ කරලා මට පණිවිඩයක් කියන්න.."
" නැන්දා ගියාද තාත්තාව බලන්න?? "
" නෑ පුතේ.. ඔයාලට කරපු දේවල්.. අර කොල්ලව මතක් වෙද්දි.. මට එයාගේ මලකඳ බලන්නවත් යන්න හිතෙන්නේ නෑ.. " 
නැන්දාගේ කටහඬ වෙව්ලන ගතියක් මට දැනුනි... ඇය කඳුලු සලන්නේ අප වෙනුවෙනි..එහෙව් කොට මාගේ පියා ගැන ඇති වන්නේ ලැජ්ජාවකි...
" හ්ම්ම්.. මං තියන්නම් නැන්දේ.. ඔයාට ජේසු පිහිටයි.."
" ජේසු පිහිටයි දරුවෝ.. "


                                                           දුරකතනය පසෙකින් තබා මම නැවත පියනැගුවේ මුලුතැන් ගේ දෙසටය.. සිත තුල යමක් සිර වෙන්නාක් වැනි හැඟීමක් මා තුල හටගන්නට විය.. එසැනින් මා ගියේ ලොකු සිස්ට හමු වී අවසර ගැනීමටය.. ඇය පවසා සිටියේ මා අනිවාරෙන්ම පියා බැහැදැකීමට යා යුතු බවයි.. අප දෙවියන් වහන්සේ අමතන යාච්ඤාවේ සඳහන් පරිදි " අන් අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කල මැනව " යන්නෙන් අදහස් වන්නේ අප අන් අයට සමාව දීමට හිත හදාගත්තොත් පමණක් අප අතින් වූ සුලු වැරැද්දකට වුවද සමාව ලැබෙන බවයි.. එහෙයින් මා තාත්තා බැලීමට යාමට සිත එක්තැන් කරගතිමි..

තාත්තා හදිසියේ අසනීප වූ කාරණය සොයා බලන කල මා හට දැනගන්නට ලැබුනේ ඔහු ආදරයෙන් හදාවඩා ගත් කුඩම්මාට දාව උපන් පුතා යන්තමින් වයස 18 ක් වන්නටත් කලින් ගැහැණු ලමයෙකු සමඟ පැනගොස් ඇති බවයි... ස්වර්ගයත් අපායත් මෙලොවෙහිම බව මට පසක් වුනේ අත්දැකීමෙන්ය.. මාගේ සිතෙහි මාගේ පියා ගැන තරහක් නැත.. දෙවියන් වහන්සේම උන් වහන්සේගේ විනිශ්චය පව්කාරයින්ට ලබා දෙනු ඇත....

------------------------------------------------------------------------------------------------------------
මේක සැබෑ සිදුවීමක්.. ලඟදී සිස්ට අක්කා එයාගේ තාත්තව බලන්න ආපු ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා ගියා.. එයා අපේ අම්මට ගොඩක් ලැදී.. යන්න කලින් අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වේ.. " ඕගොල්ලො නිසා අද මම හිතේ කිසිම දුකක් නැතිව ජේසුත් එක්ක සතුටින් ඉන්නවා" කියලා.. ඒක දකිනකොට මට හිතට මාර දුකක් දැනුනා.. අම්මා නැති අඩුව නිසා එයාලගේ ජීවිත වෙනස් වෙලා තියන හැටි පුදුමයි.. මම කොච්චර වාසනාවන්තද කියලා මට හිතුනා... ඒ කොහොම උනත් තමන් කරන දේ වලට අනුව තමයි පල විපාක ලැබෙන්නේ කියලා මටත් හිතෙනවා..

Monday, June 18, 2012

යන්න මට ලෝබයි...





දෑස් පියාගෙන සිතින් ඔබ ලඟ..
හිඳින්නට ආසයි..
දුරින් හිඳ වුව කියන වදනකට..
සිනාසෙනු ආසයි..
ආදරෙයි කියා කියන හැමවිට..
අහන්නට ආසයි...
ඔබ ලබන්නට, ඔබෙම වෙන්නට...
සදා මං ආසයි..

වෙනව යන කතා කියනු එපා මට..
අහන්න මට ලෝබයි..
සිහින ලෝකය බිඳිනු එපා හෙට..
සිතන්නටත් ලෝබයි..
අපෙම ලෝකයක් තනමු අපි හෙට ..
පතන්නට ආසයි..
ඔබෙන් නික්මී දුරක වෙනතක..
යන්න මට ලෝබයි...

ඔබ නැති හිස්තැන..


සිනහා දෙතොලඟ..
දෑඟිලි පැටලුන..
එකට පා තැබුව..
දින එයි මතකෙට..

නිදහස් සිත් ලඟ..
වදන් ගැළපුව..
ජීවිතය වින්ද..
හැටි එයි මතකෙට..


දෙනෙත් කොන් අග..
රහස් තෙපළුව..
දඟකාරම දින..
යලි එයි මතකෙට...


දැන් ගෙවී දින..
හමු නොවී අප..
දෑඟිලි තනිවම..
ලෙල දෙයි සුලඟට..


දහසක් දේ ඇත..
සිත තුල සිරවුන..
ඔබට කියන්නට...
ලඟ නෑ තනියට...


දෑස් මායිමේ නැත..
මිතුරියේ අද...
ඔබ නැති හිස්තැන..
දැනෙනවා මට..