Friday, April 27, 2012

ගල් ගැසුන සිත් අතර.. III



ඉරිදා උදෙන්ම නැගිටලා අපි කට්ටියම පල්ලියට ගිහින් ඔරසන් කියලා ආවා.. පල්ලිය උනත් ලංකාවේ පල්ලි වලට වඩා ගොඩාක් වෙනස්.. බිත්ති පුරා ඇඳලා තිබුන පින්තූර අතින්ම නිම කරපුවා කියලා තමයි තාත්තා කිව්වේ.. බලන්න ලස්සනයි.. මේවගේ නිර්මාණ කරන්න හැකියාව තියන අයත් ඉන්නවා කියද්දි පුදුමයි.. අල්තාරය සරසලා තිබුනේ අමු මල් වලින්.. අඳුර කපාගෙන පත්තු වෙන ඉටිපන්දම් පල්ලියට එක්කෙරුවේ අමුතුම ලස්සනක්.. ඔන්න පලවෙනි වතාවට මෙහෙදි තැනක් මගේ හිතට ඇල්ලුවා.. ගෙවල් වලටත් ලඟම නිසා මට නිතර යන්න එන්න පුලුවන්...
                                  ගෙදර ගිහින් අම්මි උයන්න ලෑස්ති කරනකන් මායි නංගියි ගේ ටිකක් අස්පස් කරලා දැම්මා.. අද තාත්තිත් ගෙදර නිසා ටිකක් විශේෂයි.. තුන් දෙනාම එකතු වෙලා ටිකක් වෙලාස්සන උයන පිහන වැඩ ඉවරයක් කරේ හවසට ටිකක් එලියට යන්න හිතාගෙන... ඉරිදා දවසේ තමයි හැමෝම එකට ඉඳගෙන කෑම කන්න පුලුවන් දවස.. අනිත් දවස් වල තාත්ති පාන්දර ගියාම ආයේ ගෙදර එන්නේ රෑ කෑමට.. වෙලාවකට මෙහෙ ජීවිතේ හරිම අමාරුයි.. හැමදේම අපි වෙනුවෙන්නේ.. අම්මියි තාත්තියි අපි වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කරන එකේ ඒගොල්ලන්ගේ සතුට ගැනත් හිතන්න ඕනේ.. ලංකාවේ ඉන්නකොට මට ඒ දේවල් ගැන එච්චර තැකීමක් තිබුනේ නෑ.. ඒත් එකට ඉන්නකොට තේරෙනවා...මට දැන් ඕනේ වෙච්ච හැමදෙයක්ම පැත්තකින් තියලා ජීවිතේ අලුතින් පටන් ගන්න.. වැරදි හදාගෙන මගෙම අයත් එක්ක සතුටින් ඉන්න.. මීට පස්සෙවත් ඒගොල්ලන්ගේ හිත්වලට නැති කරදර පටවන්නේ නැතිව හොඳින් ඉන්න.. ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදෙයක්ම මම කරනවා...

කාලගුණයත් හොඳට තිබ්බ නිසා හවස අපි හතරදෙනාම එලියට ආවා ටිකක් ඇවිදින්න.. මට සීතට අඳින්න ඕනේ කරන හැමදෙයක්මත් අම්මි අරගෙන දුන්නා.. හෙට පන්තියට ගෙනියන්න ඕනේ කරන දේවල් එහෙමත් අරගෙන දුන්නා..  අන්තිමට හතර දෙනාම ලොකුම ලොකු පිට්සා එකක් කාලා ගෙදර ආවා.. හෙට ගැන පොඩි බයකුත් හිතේ තියන හින්දාද මන්දා  රෑට කන්න නම් බඩේ කොහොමත් ඉඩ නෑ.. අනේ දෙවියනේ හෙට දවස මට හොඳම හොඳ එකක් කරලා දෙන්න...

------------------------------------------------------------------------------------------------------------
" ලොකූ ඉක්මන් කරන්න... තාත්තා වැඩට යන ගමන්මයි ඔයාව පන්තියට දාන්නේ.. තාත්තාට වෙලා යනවා ලමයෝ.. "
"මේ එනෝ.. තව චුට්ටයි..."

"ආ.. මේ ඇප්ලිකේශන් එක පුරවලා තියෙන්නේ.. මේක මතක් කරලා අතේම තියාගන්න.. නැත්නම් තාත්තාට හදිස්සියට ඕක අමතක වෙයි.. "
" හ්ම් හරි අම්මා..."
" දැන් ඉතින් ඉක්මනට පහලට දුවන්න.. තාත්තා පහලට ගිහිල්ලත් ඉවරයි... පරිස්සමෙන්.. ජේසු පිහිටයි.."
"මං ගිහින් එන්නම් අම්මේ.. ජේසු පිහිටයි.."


සෑහෙන දුරක් ඇවිත් තාත්තා ලොකුම ලොකු ගොඩනැගිල්ලක් ගාවින් බයික් එක නතර කලා.. මම හිතන්නේ මෙතන තමයි තැන.. බයික් එකෙන් බැහැලා මම කටත් බෙරිකරලා තාත්තා දිහා බලද්දි තාත්තාට නම් හිනා.. මාව එක අතක එල්ලගෙන අනිත් අතින් ඕනේ කරන ලියකියවිලිත් අරන් තාත්තා කෙලින්ම ගියේ ඔෆිස් එක දිහාවට.. එතන උන්නේ මැදි වයසේ වගේ ගෑණු කෙනෙක්..රතුවට හුරු  කොන්ඩෙත් කොටටම කපලා.. බලපු බැල්මට නම් කරුණාවන්ත පාටයි.. ගෙනිච්ච ලියකියවිලි ඔක්කොම එයාට භාර දීලා එතන අත්සනුත් කරලා තාත්තා නම් යන්නත් ලෑස්තිය.. බය වැඩිකමට මගේ බඩත් රිදෙනවා වගේ.. දිගම දිග කොරිඩෝවක් පාස් කරලා කොන්ඩේ රතු ගෑණු කෙනා කිව්ව පන්ති කාමරේ නම් හොයාගත්තා.. තාත්තා ඒකේ දොරට තට්ටු කරාම දොර ඇරියේ නම් බලන්න ලස්සන එච්චර වයස නැති තරුණ පහේ ගෑණු ලමයෙක්.. එයා මං දිහාව බලලා මොන මොනාදෝ කියලා ලොකුම ලොකු හිනාවකින් මාව පිලිගත්තා..
" මෙයා තමයි ඔයාගේ ටීචර්.. දැන් ඇතුලට යන්න.. ඇරෙන වෙලාවට ඔයාව ගන්න මම ගේට්ටුව ගාවට එන්නම් "
" හ්ම්ම්ම්... "
 මගේ අලුත් ටීචර් මගෙ අතකින් අල්ලගෙන ඇතුලට එක්කන් ගියා.. පස්සේ හිටපු සේරම ඉස්සරහ මාව ප්‍රදර්ශනේට වගේ හිටවලා මගෙ නම කියලා මොන මොනාදෝ කිව්වා.. මං හිතන්නේ ඒගොල්ලන්ට මාව අඳුන්නලා දුන්නද කොහෙද... පන්තියේ ලමයි නම් වැඩිය නැති පාටයි.. 10 ක් 12 ක් වගේ තමයි හිටියේ.. ජාති ජාති මූණු.. චීන වගේ මූණකුත් තියෙනවා.. මේ සේරමත් එක එක ජාති ලමයි වගේ.. භාශාව ඉගන ගන්න තමයි මෙහෙට ඇවිත් ඇත්තේ මං වගේම... කොනකම තිබුන පුටුවකට ගිහින් මාත් ඉඳගත්තා වෙන්නේ මොනාද බලන්න...වටපිටේ ඇස් ඇරලා බැලුවේ වැරදිලාවත් ලංකාවෙ කවුරුත් ඉන්නවද බලන්න මොනා බලන්නද එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක්ම ඉන්නවා කොල්ලෝ... :( කෙල්ලො එකෙක්වත් නෑ.. ලෝබ නැතුව  දෙන්නාම හොඳට හිනාවෙනවා.. බැලූ බැල්මට හොඳයි වගේ.. මාත් ඉතින්  හිනා වුනා..

චූටි ටීචර් එකටම කිව්වේ අපේ නම් ලොකූවට කොලේක ලියලා ඩෙස්කේ උඩින් තියාගන්න කියලා.. පස්සේ හැමෝම දන්න විදියට තම තමන්ව අඳුන්නලා දුන්නා.. මම තමයි එතන වයසින් අඩුම.. චීනේන්, ඉන්දියාවෙන්, ඊජිප්තුවෙන්, කොලොම්බියාවෙන්, ඒක්වාදොර් වලින් පේරූ වලින් තවත් අහලවත් තිබුනේ නැති රට වලින් ආපු ලමයි.. අමුතු අමුතු නම්, මතක තියාගන්නත් අමාරුයි.. ඇයි අපේ නම් කියාගන්න ඒගොල්ලෝ විඳින දුකක්.. කියන විදියට හිනාත් යනවා.. හිතුවට වඩා පන්තිය හොඳයිනේ.. එක අතකට මෙච්චර රටවල් ගොඩක අය අඳුරගන්න හම්බ වෙන එකත් කොච්චර දෙයක්ද...
ඊලඟට කියා දුන්නේ ඉතාලි භාශාවෙන් "මගෙ නම සෙනුලි"  කියලා ලියන හැටි... ඒ ලියන්න පාත් වෙනකොටම පිටිපස්සෙන් පාවෙලා ආපු කොල ගුලියක් මගේ මූණ හරහා වැදුනා... පිටිපස්ස හැරිලා බැලුවම ලංකාවේ දෙන්නා මං දිහා බල බල හිනා වෙනවා..

Wednesday, April 11, 2012

ගල් ගැසුන සිත් අතර.. II


ඇඳට වැටෙනවා විතරයි දන්නේ.. මට ආයෙම හොඳටම නින්ද ගිහින්.. පිටි ගෝනියක් වගේ දෙයක් මගෙ ඇඟට පාත් වෙනවා වගේ දැනෙනවත් එක්කම මාව උඩ ගිහින් ඇහැරුනේ අන්දුන් කුන්දුන් වෙලා... ආයෙ මොනා බලන්නද ඉතින් ඔය වගේ වැඩක් කරොත් ඉතින් අපේ පොඩි අඟ තමයි...
"අපෝ මොකද අක්කෙ ඔය?? ආව වෙලේ ඉදන් මූණ දෙබර කූඩයක් වගේ පුම්බගෙන හූල්ල හූල්ල ඉන්නේ.. එක්කෝ මූණ කචල් නැත්නම් නිදි... අපෝ... "
"මෝඩියේ ඔය බැරල් ඇඟ මගෙන් අහකට ගන්නවා.. නැත්නම් මාව පොඩි වෙයි.. අනික මේ සීතේ වෙන මොනා කරන්නද.. නිදාගන්න තමයි හොඳ.. නිකන්ම නින්ද යනවා.."
" ආ.. ඇත්තද.. නිදාගන්නවද නැත්තන් අරයා ගැන හීන මවනවද.. "
" නංගි මේ.. අම්මට කතා කරන්නද?? "
"අපෝ නෑ නෑ.. මගේ සුදු අක්කි පැටියා.. මම ඉතින් ආදරේටනේ.. උම්මා.. "
"හරි හරි.. මේ බබෝ අපි අම්මිගෙන් අහලා ටිකක් එලියට යමුද?? "

ජැකට් එකයි දනිස් දෙකටම තියෙන බූට්ස් දෙකකුයි දාගෙන මායි නංගියි එලියට බැස්සේ වටපිටාව පොඩ්ඩක් බලාගන්න හිතාගෙන... බලන බලන හැම පැත්තෙම සුදු හිම විතරක්මයි...හුස්මක් ගන්න හැමසැරේකම සුදු පාටට දුම් වලල්ලක් නැගුනේ සීත වැඩිකමට වෙන්න ඕනේ.. අඩියක්වත් ගහලා නැති සුදු හිම තට්ටුවක් උඩ මම මගේ නම ලියන්න පාත් වෙලා ඉන්නකොට මුලු ඇඟම හිරිවැටිලා යන්න තරමේ හිම බෝලයක් මගේ මූණ හරහා වැදුනේ නොහිතපු විදියට.. ඒත් එක්කම හිම ගුලියක් අතට අරගෙන නංගිට ගැහුව පාර නංගිගේ කොන්ඩේ පුරා හිම කැට.. හිම බෝල වලින් ගගහා වැඩි වෙලාවක් ඉන්න හම්බ උනේ නෑ, ටික වෙලාවක් යනකොට කකුල් අත් ගල් වෙලා වගේ කිසිම හැඟීමක් දැනීමක් නැති තරමටම... වැඩි හිනා වෙන්නත් බෑ සීතලට තොල් පැලෙන්න බලනවා...

"ඔහොම හිනා වෙලා ඉන්නවකො අක්කේ.. මෙහෙට පුරුදු වෙනකොට සේරම හරි යයි.."
එහෙම කියලා නංගි මගෙ අතකින් තද කරලා අල්ලගත්තේ මාව සනසන්න වගේ.. හැමෝම මට ආදරෙයි. එක අතකට මේ තරම් දුක් වෙන්න දේකුත් නෑ.. හැමදේම වෙන්නේ හොඳට කියනවානේ..
"හ්ම් හ්ම්.. දැන් යමුද?? පැලෙන්න සීතයි.."
"යමු.. හෙට අපි අම්මිගෙන් අහලා මගේ යාලුවෝ හම්බ වෙන්න යමු හරිද??.. එතකොට අක්කිට ඒ සේරමල්ලවම අඳුරගත්තෑකි.. "
"යමු යමු.. දැන් ඉතින් ඔයා දන්න හැමතැනකම මාව එක්ක යන්න වෙනවා.."
"අයියෝ යන්නම්කො එක්කගෙන.."

මෙහෙ දවස ගෙවෙන්නේ හරිම හිමීට වගේ.. වෙලාව යන්නෙත් නෑ.. ඒත් හවස හතරහමාර පහ පහු වෙනකොට කලුවර වැටෙනවා.. ටීවී එක බලන්න ඉඳගත්තත් ඒකේ කියන එව්වා තේරෙන එකක්යැ.. නිකන් රූප දිහාව බලන් ඉන්න එක තමා.. පලවෙනි දවස ඔහොම හරීම හිමීට ගෙවිලා ගිහින් පහුවෙනිදා උදේන්ම නංගි මාව ඇහැරෙව්වේ එයත් එක්ක යාලුවෝ හම්බවෙන්න යන්න .. මොනා කරලා හරි කමක් නෑ මට ඕනේ උනේ මේ පාලු ගතිය ටිකක් මඟඇරගන්න..යන අතරමඟ ටවුන් එකට යන බස් එක ගන්න හැටි.. බස් ටිකට් එක ගන්න තැන් ඒ දේවල් සේරම මට කියාදෙන්නත් නංගි අමතක කරේ නෑ.. බලන බලන් හැම අතේම ගොඩනැගිලි.. ගස් වල එක කොලයක් නෑ.. බැලූ බල්මට හරිම මූසල පෙනුමක් තියෙන්නේ.. නංගි නම් කියන්නේ ඒ සීත කාලේ හින්දලු.. කතාවෙන් කතාව ටවුන් එකටත් ඇවිත් දෙන්නම බස් එකෙන් බැහැලා පයින් ටික දුරක් අවිදන් ගියේ පාක් එක දිහාවට.. යනකොටත් බංකුවක් උඩට වෙලා ලංකාවේ කියලා හිතන්න පුලුවන් ගෑණු ලමයෙකුයි තව සුදුම සුදු කෙල්ලො කොල්ලො දෙතුන් දෙනෙකුයි බලාගෙන ඉන්නවා...
"ආහ් මේ ඉන්නේ කස්ටිය... සඳු මේ තමයි අපේ අක්කි." කට පුරා හිනා වෙච්ච කෙල්ල නම් හරිම හොඳ පාටයි.. අනිත් අය නම් කටත් ඇරන් බලන් ඉන්නවා අපි සිංහලෙන් කතාකරනකොට.. නංගි නම් මොන මොනාදෝ කිව්වා ඒත් එක්කම කට්ටියම මට අතට අත දීලා මාව අඳුරගත්තා... මම නම් කරේ හිනා වෙන එක විතරමයි.. බැන්නා උනත් තේරෙන එකක් යැ ඉතින්...

ටවුන් එකේ හැම අස්සක මුල්ලකමයි ඇඳුම් කඩයක් ගානෙයි කට්ටිය මාව ඇවිද්දුවේ හරිම උනන්දුවෙන්.. මෙයාලට නම් මේ හරිය හොඳට පුරුදු පාටයි.. කඩයක් ඇතුලට ගිහින් කට්ටිය එලියට බහින්නේ make-up උලාගෙන.. සෙන්ට් ගහගෙන හරියට මෙයාලාගේ වගේ.. මට නම් හිතට බයයි ඔව්වා කරන්න.. ඒත් එකෙත් පොඩි ජොලියක් නොතිබ්බම නෙමේ... අද දවස නම් නංගිගේ යාලුවොත් එක්ක ගෙවුනේ පාලුවක් නැතිව.. පුරුදු වෙනකොට හැමදේම හරි යයි කියලා මටත් දැන් හිතෙනවා.. නංගි ඉන්න එක මගෙ හිතට ලොකු හයියක්...

-----------------------------------------------------------------------------------------------
අද සෙනසුරාදා.. සඳුදාට භාශාව ඉගෙන ගන්න පන්ති යන්න ඕනේ කියලා තාත්ති කිව්වා.. යන්නත් නිකන් මොකක්ද වගේ.. නොයාත් බෑ.. සඳුදා මට කොච්චර එපා කරපු දවසක් වෙයිද දන්නේ නෑ.. උෆ්ෆා...
"නංගි භාශාව උගන්නන්නත් ඉන්නේ මෙහෙ කට්ටියමද?? "
" හ්ම් ඔව් ඉතින්.. "
"ඉතින් මට මෙයාලා කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ බබෝ.. :/ "
"තේරෙයි තේරෙයි.. ඒගොල්ලෝ රඟපාලා උගන්නනවා.. බය වෙන්න එපා අනේ.."
" :/ ඔයා නම් කියයි "
දෙයියනේ මට නම් බයේ බෑ.. දැන් ඉතින් ඉක්මනට සඳුදා වෙයි...

Tuesday, April 10, 2012

ගල් ගැසුන සිත් අතර..


නින්දත් නොනින්දත් අතර ඇඳේ කොන්කට ගුලි වෙලා ඉන්නකොට එකපාරට ඇහැරුනේ සීතල වැඩිකමට වෙන්න ඇති.. අන්ධකාරේ අතපත ගාලා ෆෝන් එක ඔබලා බලද්දි වෙලාව පාන්දර 2.36.. වටපිටාව තවමත් ඇස් දෙකට හරිම නුහුරුයි.. දෙයියනේ මම කොච්චර දුර ඇවිත්ද.. නොදැනුවත්වම ඇස් කොනෙන් ගලා ගෙන ආපු කඳුලු බිංදුවක් කම්මුල දිගේ ගලාගෙන යනකොට මම මූණ කොට්ටෙට තද කරලා ඔබා ගත්තේ දුක වැඩිකමට.. ඒ විදියට මම කොච්චර වෙලාවක් ඇස් ඇරිලා උන්නද කියන්න මට මතක නෑ.. මහන්සිය වැඩිකමටද කොහෙද උදේ අම්මා ඇවිත් මට කතා කරනකන් මම හිටියේ තද නින්දේ.. ඇස් දෙකට හරිම මහන්සියක් දැනෙන්නේ.. අම්මටත් වැඩි මූණ නොදී මම නාන කාමරයට රිංග ගත්තේ රෑ තිස්සෙ අඬලා ඉදිමිච්ච ඇස් දෙක හංගගන්න...

ඉක්මනින් මූණ කට හෝදගෙන මම කුස්සිය දිහාවට ඇවිදගෙන ගියේ හිස්පතුලෙන්මයි.. මගේ අම්මේ කකුල් ගල් වෙන තරමේ සීතලක් දැනෙන්නේ..ඇතුල මෙහෙම නම් එලියට ගියාම කොහොම තියේද කියලා හිතෙනවා.. මම යනකොටත් අම්මි මගේ කිරි එක හදලා බලාගෙන ඉන්නවා..
"දුව මම ඔයාට සෙරෙප්පු දෙකක් දුන්නේ ගේ ඇතුලේ ඉන්නකොට දාගෙන ඉන්න.. ඔහොම නිකන් ඉන්න එපා ලමයෝ හොඳ නෑ.. මේ ලංකාව නෙමේ.. ඔයා සීතලෙන් පරිස්සම් වෙන්න ඕනේ.. නැත්තම් ඔව්වා බලපාන්නේ ඉස්සරහට..."
"මේ විදියට ගියොත් නම් නැති ලෙඩත් හැදෙනවා තමයි අම්මා.. ලංකාව කොච්චර හොඳද. මට ආව පලවෙනි දවසම එපා වෙලා.. බිංගුහාවක් වගේ ගෙයක් ඇතුලට රිංගගෙන.. මම කලින්ම කිව්වානේ බෑ කියලා.. මට මෙහෙ ඉන්න බෑ..."
"ඇයි? මොකක්ද ඔයාට මෙහෙ තියන අඩුපාඩුව? මම ඉන්නවා තාත්ති ඉන්නවා නංගි ඉන්නවා.. කන්න ඕනේ නම් කන්න තියෙනවා.. තවත් මොනාද.."
"ඒත් අම්මා.."
"ඔය කතාව ඔතනින් නවත්ත ගන්න සෙනුලි.. ඔයයි මායි හොඳටම දන්නවා ඔයාව හදිස්සියේ මෙහෙට එක්ක ගත්තේ ඇයි කියන එක.. ආච්චි අම්මා නෙමෙයි මම ඔයාගේ අම්මා.. එයත් එක්ක හුරතල් උනා වගේ මාව මෝඩයට අන්දන්න හිතන්න එපා.. ඔයා වෙනුවෙන් තීරණ ගන්න තාම මායි තාත්තයි ඉන්නවා.. අපි මැරෙන දවසක් එනකන්ම කරන්නේ ඔයාට හොඳක් මිස නරකක් නෙමේ.. ඒක නිසා වචන නාස්ති නොකර ඔයා තේ එක බොන්න.. ඔයා ඔලුවෙන් හිටන් කිව්වත් ඔයාව අයේ තනියම ලංකාවට යවන්නේ නෑ.. එච්චරයි.. "

අපේ අම්මි ගොඩාක් තදයි.. මොන දේ උනත් එයාට එහා වචනයක් කතා කරන්න මට හයියක් තිබුනේ නෑ.. මගෙ අතෙත් වැරදි තියෙන්න ඇති.. ඒත් ලංකාවෙ උන්න යාලුවෝ, ඉස්කෝලේ, අමිල අයියා.. ඒ හැමෝම දාලා මේ තරම් දුර රටකට එන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ..
කතා කරන්න කාත් කවුරුවත් නැතුව තනියම ඉන්නකොට හිතට දැනෙන පාලුව දරාගන්න බෑ... අමිල අයියා තමයි මගේ බෝයි වෙලා හිටියේ ඒත් එහෙම කිව්වට අපි උන්නේ යාලුවෝ වගේ ගොඩාක් ලඟ යාලුවෝ වගේ.. මම එයාට ඇත්තට ආදරේ උනාද කියලාවත් මම දන්නේ නෑ.. ඒත් මම එයාට කැමති.. එයත් එක්ක කතා කරන්න, ඇවිදින්න, හිනාවෙන්න මම ගොඩාක් කැමති..එයා හරිම හොඳ කෙනෙක්.. මට කන්න දේවලුත් ගොඩාක් අරන් දුන්නා.. හිනායන දේවලුත් ගොඩාක් කිව්වා.. සමහර වෙලේට මම එයාට ගුටිත් දෙනවා.. අනේ මට එයා නැතුව පාලුයි...අම්මිලාට අපි දෙන්න අශ්‍රය කරන එක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් උනේ ඇයි කියලා මට හිතාගන්නවත් බෑ..දැන් මම මෙහේ තනියම ගෙදරකට හිර වෙලා.. අමිල අයියත් ඇත්තේ ගොඩක් දුකෙන්.. ලංකාවට යන එක හීනයක් විතරයි....

කවුලුව අතරින් බිම පුරා ඉහිරුනු සුදු හිම තට්ටුව උඩ වෙච්ච හැමදෙයක්ම මැවිලා පේනවා වගේ.. ඒ හැමදේම බොඳ කරමින් උණුසුම් හුස්මට වීදුරුව පුරා පැතිරුනු මීදුම් තට්ටුව උඩ දුක හිතුන මූණක් අදිනකොට අත ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුන තාත්තිගේ කටහඬට...
" ඇයි දුව දුකෙන්ද ඉන්නේ..? යාලුවෝ නැතුව පාලුද? "
" හ්ම්.. ඔව් තාත්ති.."
"ඕක ඇරිලා යයි දූ ඔයාට මෙහෙ අලුත් යාලුවො හම්බ උනාම.. ඔයාට ලඟදිම හම්බ වෙයි යාලුවෝ ගොඩාක්.. "
එහෙම කියමින්ම තාත්ති මගෙ අවුල් වෙච්චි කෙස් පිරිමදින ගමන් යන්න ගියේ මූණ පුරා පිරිච්ච හිනාවකුත් එක්ක..

තාත්ති ගොඩක් වෙනස් අම්මි වගේ නිතර තරහ ගන්න කෙනෙක් නෙමේ.. ඒත් තරාගියාම එයා තරම් වස කෙනෙකුත් නෑ.. ඒ හින්දා අම්මි මං ගැන විස්තර මොකුත් තාත්ති එක්ක කියලා තිබුනේ නෑ.. දැන ගත්ත දවසට මොනා වෙයිද දන්නෙත් නෑ.. ඒ හැමදේම ගැන හිතලා අම්මි මාව මෙහෙට එක්ක ගත්ත එක ගැන එයාට වරදක් කියන්නත් බෑ.. ඉහලට ගත්ත දිග.... හුස්මක් පාතට දාන ගමන් මම ඇඳට පැන්නේ ඉස්සරහට වෙන්නේ මොනාද කියලා හිතාගන්නවත් බැරුව...