Friday, April 22, 2011

හැදූ මවක්...


වෙනදා වගෙම හවස වැඩපල ටික සේරම ඉවරයක් කරලා උණු උණු තේ කෝප්ප දෙකත් අතින් අරගෙන බොහොම පරිස්සමට අඩිය තියමින් මම ගමන් කරේ මැහුම් කාමරය දිහාවට.. මම යනකොටත් අම්මා සිකුරාදා පොළෙන් ගෙනාව දම් පාට මල් වැටුන චීත්ත රෙද්ද මහන්නත් අරගෙන..අම්මගෙම අතින් මහපු ජාති ජාති චීත්ත ගවුම් වලින් තමා මගෙ රෙදි රාක්කය පිරිලා තිබ්බේ.. චීත්ත ගවුම ඇන්දම මූණට ඇගපතට එන ගමේ ගතියට මං ගොඩාක් ආසා කෙරුවා..අපේ අම්මාත් එහෙමයි.. ඒක නිසාම පොළට යන ගොඩක් වෙලාවට අලුත් චීත්ත රෙදි කෑල්ලක් අරන් එන්න අම්මා අමතක කරේ නෑ , ඒකටම ගැලපෙන රේන්දයක් අල්ලලා හරිම හුරතල් විදියට ගවුම් මහලා දෙන්න අපේ අම්මා හරිම කැමතියි..මං එව්වා ඇදලා හැඩ බලද්දි අම්මාට එයාගේ තරුණ කාලය මතක් වෙනවාලු...

" අම්මේ මෙන්න තේ එක.. උණුවෙන්ම බොන්න නිමෙන්න ඉස්සර වෙලා"
" ඔතනින් තියන්න දුවේ.. අල්ලලා බලන්නකෝ මේ රෙද්ද ඇගට හරිම පහසුයි.. ආ දුව, කහ පාට චූටි මලක් වැටිලා තියෙන හින්දා රේන්දේ කහ පාටින් අල්ලමු නේද?"
"හ්ම් එහෙම හොදයි... අම්මේ වාටි මහන්න මට දෙනවද?"
"ආ.. මෙයාටත් මේ හිතිලා තියෙන්නේ මැහුම් සාත්තරේ ඉගන ගන්න..පාඩුවක් වෙන්නෙ නෑ තමන්ටම තමා ඉගන ගන්න කොයි දේත්.. ඇද නොකර මහන්න ඕනේ හැබැයි..නැත්නම් අපරාදේ ලාබෙට හම්බ වෙච්ච රෙදි කෑල්ල"

තාත්තා නැති වෙච්ච දවසේ ඉදන් අම්මා හැමදේම කරේ අරපරිස්සමෙන්.. කිසිම දේකට ඕනාවට වඩා වියදම් නොකර ඒත් මටත් කිසිම අඩුපාඩුවක් නොකර හැමදේම හසුරුවන්න අම්මාට තිබ්බේ පුදුම දක්ෂ කමක්.. අපි දෙන්නගෙ කෑම බීම, ඇදුම් පැලදුම් ඒ සේරම වියදම් පිරිමැහුනේ අම්මා එක එක්කෙනාගෙ රෙදි පිලි මහලා උපය ගත්ත මුදල් වලින්..තාත්තා නැති වෙන්න කලින් අම්මගේ විනෝදාංශයක් වෙලා තිබ්බ රෙදි මැහිල්ල අද අපි දෙන්නගෙම ජීවන උපායක් උන හැටි පුදුමයි.. තාත්තා නැති උනා කිව්වට එයා තව ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන්නවත් අපි දන්නේ නෑ.. හමුදා මෙහෙයුමක් අතරතුර ආ ගිය අතක් නැතිය කියලා තමා ආරංචි උනේ.. පුංචි කාලෙදි වගේම අදටත් මට තාත්තා නැති උනාය කියලා වැඩි හිතේ අමාරුවක් නොතිබුනේ කවදාවත් තාත්තා හැටියට එයා මාත් එක්ක ඉන්න ඕනා වෙලාවල නොහිටපු හින්දයි.. මාස ගානකට පස්සේ ගෙදර ආවම මම ඒ අහලකටවත් ලං නොවී ඉද්දි තාත්තාගෙ හිතට ඇති වෙච්ච දුක ගැන මට දැන් හිතා ගන්න පුලුවන් උනත් ඒ දවස් වල නම් ඒ හැටි ගානක් තිබුනේ නෑ ..නිවාඩුවට ගෙදර ඉන්න ඒ ටික දවසවත් තාත්තාගෙ මූණේ හිනාවක් නොතිබුන එකට හේතුව මමද කියලත් දැන් මට හිතෙන වාර ගනන අනන්තයි....
" දුවේ ඇයි ඔයා තාත්තා ගාවට යන්නේ නැත්තේ ?? එහෙම කරන්න එපා දුව ඔයා දන්නවද තාත්තා හැම වෙලේම ගෙදර ඉන්නේ නැත්තේ ඇයි කියලා? ඒ දුවට, මට ඒ වගෙම මුලු රටටම තියෙන ආදරේ හින්දා.. දුව වගේම තව ගොඩක් පුංචි ලමයින්ට ලස්සනම ලස්සන ජීවිතයක් හදලා දෙන්න තමා දුවගේ තාත්තා මහන්සි වෙන්නේ.. ඔයාට තේරුනාද.. " තාත්තා ආයෙම කෑම්ප් එකට ගියායින් පස්සේ මාව ලගට අරන් අම්මා කරුණාවෙන් කියලා දුන්න හැටි මට තාමත් මතකයි.. ඒත් ඒ දේවල් වල බරක් පතලක් තේරුම් ගන්න මට ඒ දවස් වල ඕනා කමක් තිබුනේ නෑ.. මගේ හිත ඇහුවෙම තාත්තා අපිට ආදරේ නම් ඇයි අපි ගාවම නවතින්නේ නැත්තේ කියලා.. ඉස්කෝලේ රැස්වීම වලට, පොදු වැඩ වලට අනිත් ලමයින්ගේ තාත්තලා එද්දි මට ඒ හැමදේටම උන්නේ අම්මා විතරයි..ඒක නිසා එදා ඉදන්ම මගේ ආදරේ වැඩි හරියක් අයිති උනේ මගේ අම්මාට..

--------------------------------------------------------------------------

" අම්මේ.. "
"හ්ම්ම් මොකද ඇති උනාද වාටි මහලා?? " අම්මා එහෙම කිව්වේ තේ කෝප්පෙ පැත්තකින් තියලා මැෂිම දිහාවට එන ගමන්..
" නැහැ අම්මේ.. මට හිතෙනවා මං තාත්තා උන්න දවස් වල එයාට සළකපු විදිය හොද නෑ කියලා " එහෙම කියද්දි අම්මාගේ මූණ වෙනස් උනේ මමත් බලන් ඉද්දිමයි..
"එහෙම හිතන්න එපා දුව.. ඒකට ඔයාගෙවත් තාත්තගෙවත් වැරැද්දක් නෑ.. ඔයා ඒ දවස් වල පුංචියි... තාත්තා කලේ එයාගේ රාජකාරිය..."
" අනේ මන්දා අම්මේ.. ඔයාට හිතෙනවද තාත්තා අදටත් කොහෙ හරි ජීවත් වෙනවා කියලා?? " මම එහෙම අහද්දිම අම්මගේ ඇස් වලින් කදුලු බිංදු පේලියක් කඩා වැටුනේ ඇයටත් නොදැනිම වගේ..
" මට දුවට කියන්න දෙයක් තියෙනවා.. ඔයා දැන් පොඩි ලමයෙක් නෙමේ.. මාත් එක්ක හුරතල් උනාට අවුරුදු 22 ක තරුණ කෙල්ලක්..ඒක නිසා මං හිතනවා දුවට ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනවා කියලා..."
" ඇත්ත? "

11 comments:

  1. ඔන්න බැහැයි කියපු එකත් කියෙව්වා.මමද ඉස්සෙල්ලාම කියවලා තියෙන්නෙ.ඒක හොදට පෙරලෙයිද නරකට පෙරලෙයිද දන්නෙ නෑ.කතා කියවන්නෙ නැති එකෙක්නෙ ඉස් ඉස්සෙල්ලාම කියෙව්වෙ.කතාවනම් හොදයි.හරියට හිංදි කතා වගේ.හොදම හරියෙන් නවත්තනවා.

    ReplyDelete
  2. අම්මෝ කතාවකුත් ආවා,,නරක නෑ...

    ReplyDelete
  3. ඉතිරි ටිකත් ඉක්මනට ලියන්න

    ReplyDelete
  4. ම්ම්ම්.... ටිකක් ටිකක් තේරුනා වගේ.. කතාව නම් ලස්සනයි..ටිකක් තෙරුනා කිවේ හොදම යාලුවගේ හිත දන්න හන්දා.... ඉතුරුවාත් ඔන්න ඉක්මනට එන්න ඔනා හොදද..

    ReplyDelete
  5. ආහ්.. මරු මරු..ආසාවෙන් කියෙවුවා...

    මේක කුතුහලය පිරි නිමාවක්ද නැත්තං මතුසම්බන්ධයිද?

    ReplyDelete
  6. අම්මියේ.. ඉතිරි ටික දාන්න.. මාත් කතාව ගෙස්ට් කරනනවා.. ඒක වෙන්ටෝන..
    ඔය වගේම ශොර්ට් ෆිල්ම් එකක් තියෙනවා..
    ඒකට නම් ඇඩෙනවා :-(
    ජය වේවා නංගි..!

    ReplyDelete
  7. @ සීතල අයියා - එහෙම තමයි ඉතින්.. නැත්නම් රසයකුත් නෑ.. පොස්ට් එකත් දික් වෙනවා...

    @ ItalyDilan- හ්ම්ම්ම්....

    @නදී අක්කා ... හරී... ඒකත් ඉක්මනටම දෙනවා.... :)

    ReplyDelete
  8. @ නිම්ශා - ආහ්හ්හ්... තේරුණා?? හෙහේ.. බලමුකො මොකද වෙන්නේ කියලා.... ;)

    @ චතුවා (ළමයා)- ගොඩාක් ස්තූතියි.. අපෝ නෑ මතුසම්බන්ධයි....

    හ්ම් හ්ම්... බලමුකෝ.... තැන්කූ බනී :D

    ReplyDelete
  9. ඉතිරිය ඉක්මනට දාන්න

    ReplyDelete
  10. මම මෙ කතාව බොහෝ වින්දෙමි. නමුත් මා සහෘදයෙක් දැයි නොදනිම්..!!!

    ReplyDelete
  11. හොඳා හොඳා.... ඉතුරු කෑල්ලත් ඉක්මනටම වැටෙයි නේද?...

    දැන් කාලෙ චීත්ත ගවුමක් ඇඳපු කෙල්ලෙක් දකින්න ඇස් පින් කරන්න ඕන... :)

    ReplyDelete