Friday, April 27, 2012

ගල් ගැසුන සිත් අතර.. III



ඉරිදා උදෙන්ම නැගිටලා අපි කට්ටියම පල්ලියට ගිහින් ඔරසන් කියලා ආවා.. පල්ලිය උනත් ලංකාවේ පල්ලි වලට වඩා ගොඩාක් වෙනස්.. බිත්ති පුරා ඇඳලා තිබුන පින්තූර අතින්ම නිම කරපුවා කියලා තමයි තාත්තා කිව්වේ.. බලන්න ලස්සනයි.. මේවගේ නිර්මාණ කරන්න හැකියාව තියන අයත් ඉන්නවා කියද්දි පුදුමයි.. අල්තාරය සරසලා තිබුනේ අමු මල් වලින්.. අඳුර කපාගෙන පත්තු වෙන ඉටිපන්දම් පල්ලියට එක්කෙරුවේ අමුතුම ලස්සනක්.. ඔන්න පලවෙනි වතාවට මෙහෙදි තැනක් මගේ හිතට ඇල්ලුවා.. ගෙවල් වලටත් ලඟම නිසා මට නිතර යන්න එන්න පුලුවන්...
                                  ගෙදර ගිහින් අම්මි උයන්න ලෑස්ති කරනකන් මායි නංගියි ගේ ටිකක් අස්පස් කරලා දැම්මා.. අද තාත්තිත් ගෙදර නිසා ටිකක් විශේෂයි.. තුන් දෙනාම එකතු වෙලා ටිකක් වෙලාස්සන උයන පිහන වැඩ ඉවරයක් කරේ හවසට ටිකක් එලියට යන්න හිතාගෙන... ඉරිදා දවසේ තමයි හැමෝම එකට ඉඳගෙන කෑම කන්න පුලුවන් දවස.. අනිත් දවස් වල තාත්ති පාන්දර ගියාම ආයේ ගෙදර එන්නේ රෑ කෑමට.. වෙලාවකට මෙහෙ ජීවිතේ හරිම අමාරුයි.. හැමදේම අපි වෙනුවෙන්නේ.. අම්මියි තාත්තියි අපි වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කරන එකේ ඒගොල්ලන්ගේ සතුට ගැනත් හිතන්න ඕනේ.. ලංකාවේ ඉන්නකොට මට ඒ දේවල් ගැන එච්චර තැකීමක් තිබුනේ නෑ.. ඒත් එකට ඉන්නකොට තේරෙනවා...මට දැන් ඕනේ වෙච්ච හැමදෙයක්ම පැත්තකින් තියලා ජීවිතේ අලුතින් පටන් ගන්න.. වැරදි හදාගෙන මගෙම අයත් එක්ක සතුටින් ඉන්න.. මීට පස්සෙවත් ඒගොල්ලන්ගේ හිත්වලට නැති කරදර පටවන්නේ නැතිව හොඳින් ඉන්න.. ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදෙයක්ම මම කරනවා...

කාලගුණයත් හොඳට තිබ්බ නිසා හවස අපි හතරදෙනාම එලියට ආවා ටිකක් ඇවිදින්න.. මට සීතට අඳින්න ඕනේ කරන හැමදෙයක්මත් අම්මි අරගෙන දුන්නා.. හෙට පන්තියට ගෙනියන්න ඕනේ කරන දේවල් එහෙමත් අරගෙන දුන්නා..  අන්තිමට හතර දෙනාම ලොකුම ලොකු පිට්සා එකක් කාලා ගෙදර ආවා.. හෙට ගැන පොඩි බයකුත් හිතේ තියන හින්දාද මන්දා  රෑට කන්න නම් බඩේ කොහොමත් ඉඩ නෑ.. අනේ දෙවියනේ හෙට දවස මට හොඳම හොඳ එකක් කරලා දෙන්න...

------------------------------------------------------------------------------------------------------------
" ලොකූ ඉක්මන් කරන්න... තාත්තා වැඩට යන ගමන්මයි ඔයාව පන්තියට දාන්නේ.. තාත්තාට වෙලා යනවා ලමයෝ.. "
"මේ එනෝ.. තව චුට්ටයි..."

"ආ.. මේ ඇප්ලිකේශන් එක පුරවලා තියෙන්නේ.. මේක මතක් කරලා අතේම තියාගන්න.. නැත්නම් තාත්තාට හදිස්සියට ඕක අමතක වෙයි.. "
" හ්ම් හරි අම්මා..."
" දැන් ඉතින් ඉක්මනට පහලට දුවන්න.. තාත්තා පහලට ගිහිල්ලත් ඉවරයි... පරිස්සමෙන්.. ජේසු පිහිටයි.."
"මං ගිහින් එන්නම් අම්මේ.. ජේසු පිහිටයි.."


සෑහෙන දුරක් ඇවිත් තාත්තා ලොකුම ලොකු ගොඩනැගිල්ලක් ගාවින් බයික් එක නතර කලා.. මම හිතන්නේ මෙතන තමයි තැන.. බයික් එකෙන් බැහැලා මම කටත් බෙරිකරලා තාත්තා දිහා බලද්දි තාත්තාට නම් හිනා.. මාව එක අතක එල්ලගෙන අනිත් අතින් ඕනේ කරන ලියකියවිලිත් අරන් තාත්තා කෙලින්ම ගියේ ඔෆිස් එක දිහාවට.. එතන උන්නේ මැදි වයසේ වගේ ගෑණු කෙනෙක්..රතුවට හුරු  කොන්ඩෙත් කොටටම කපලා.. බලපු බැල්මට නම් කරුණාවන්ත පාටයි.. ගෙනිච්ච ලියකියවිලි ඔක්කොම එයාට භාර දීලා එතන අත්සනුත් කරලා තාත්තා නම් යන්නත් ලෑස්තිය.. බය වැඩිකමට මගේ බඩත් රිදෙනවා වගේ.. දිගම දිග කොරිඩෝවක් පාස් කරලා කොන්ඩේ රතු ගෑණු කෙනා කිව්ව පන්ති කාමරේ නම් හොයාගත්තා.. තාත්තා ඒකේ දොරට තට්ටු කරාම දොර ඇරියේ නම් බලන්න ලස්සන එච්චර වයස නැති තරුණ පහේ ගෑණු ලමයෙක්.. එයා මං දිහාව බලලා මොන මොනාදෝ කියලා ලොකුම ලොකු හිනාවකින් මාව පිලිගත්තා..
" මෙයා තමයි ඔයාගේ ටීචර්.. දැන් ඇතුලට යන්න.. ඇරෙන වෙලාවට ඔයාව ගන්න මම ගේට්ටුව ගාවට එන්නම් "
" හ්ම්ම්ම්... "
 මගේ අලුත් ටීචර් මගෙ අතකින් අල්ලගෙන ඇතුලට එක්කන් ගියා.. පස්සේ හිටපු සේරම ඉස්සරහ මාව ප්‍රදර්ශනේට වගේ හිටවලා මගෙ නම කියලා මොන මොනාදෝ කිව්වා.. මං හිතන්නේ ඒගොල්ලන්ට මාව අඳුන්නලා දුන්නද කොහෙද... පන්තියේ ලමයි නම් වැඩිය නැති පාටයි.. 10 ක් 12 ක් වගේ තමයි හිටියේ.. ජාති ජාති මූණු.. චීන වගේ මූණකුත් තියෙනවා.. මේ සේරමත් එක එක ජාති ලමයි වගේ.. භාශාව ඉගන ගන්න තමයි මෙහෙට ඇවිත් ඇත්තේ මං වගේම... කොනකම තිබුන පුටුවකට ගිහින් මාත් ඉඳගත්තා වෙන්නේ මොනාද බලන්න...වටපිටේ ඇස් ඇරලා බැලුවේ වැරදිලාවත් ලංකාවෙ කවුරුත් ඉන්නවද බලන්න මොනා බලන්නද එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක්ම ඉන්නවා කොල්ලෝ... :( කෙල්ලො එකෙක්වත් නෑ.. ලෝබ නැතුව  දෙන්නාම හොඳට හිනාවෙනවා.. බැලූ බැල්මට හොඳයි වගේ.. මාත් ඉතින්  හිනා වුනා..

චූටි ටීචර් එකටම කිව්වේ අපේ නම් ලොකූවට කොලේක ලියලා ඩෙස්කේ උඩින් තියාගන්න කියලා.. පස්සේ හැමෝම දන්න විදියට තම තමන්ව අඳුන්නලා දුන්නා.. මම තමයි එතන වයසින් අඩුම.. චීනේන්, ඉන්දියාවෙන්, ඊජිප්තුවෙන්, කොලොම්බියාවෙන්, ඒක්වාදොර් වලින් පේරූ වලින් තවත් අහලවත් තිබුනේ නැති රට වලින් ආපු ලමයි.. අමුතු අමුතු නම්, මතක තියාගන්නත් අමාරුයි.. ඇයි අපේ නම් කියාගන්න ඒගොල්ලෝ විඳින දුකක්.. කියන විදියට හිනාත් යනවා.. හිතුවට වඩා පන්තිය හොඳයිනේ.. එක අතකට මෙච්චර රටවල් ගොඩක අය අඳුරගන්න හම්බ වෙන එකත් කොච්චර දෙයක්ද...
ඊලඟට කියා දුන්නේ ඉතාලි භාශාවෙන් "මගෙ නම සෙනුලි"  කියලා ලියන හැටි... ඒ ලියන්න පාත් වෙනකොටම පිටිපස්සෙන් පාවෙලා ආපු කොල ගුලියක් මගේ මූණ හරහා වැදුනා... පිටිපස්ස හැරිලා බැලුවම ලංකාවේ දෙන්නා මං දිහා බල බල හිනා වෙනවා..

1 comment:

  1. මෙක ඇත්ත කතාවකට ගොඩක් සමානයි..
    අනේ මන්දා..තව ඉස්සරහට යමුකෝ..ලස්සනයි ලියනවා..

    ReplyDelete