Monday, February 27, 2012

හීන කියන්නේ හීන වලට....




අල්තාරෙටත් පිටුපාලා පූජාවට ඇවිත් උන්න සෙනඟ සේරමත් බලන් උන්නේ මනමාලි පල්ලියට ඇතුල් වෙන්නේ කොයි වෙලේද කියලා.. හීනියට ඇහුන කසුකුසුවකුත් එක්කම ඔක්කොමලා නැගිටලා හිටගනිද්දි කන්තාරු කණ්ඩායමේ ලමයි ටිකත් ලස්සනට පොට්ටු පොට්ටු ගීතිකාව පටන් ගන්නකොට මමත් පැතුම්ට බර දීලා ඇඟිලි තුඩු වලින් හිටගෙන පිටිපස්ස බැලුවේ මනමාලිගේ මූණ හොද හැටි බලා ගන්න... මෙච්චර කාලෙකට බලා හදා ගත්තු අම්මයි තාත්තයි මැද්දට වෙලා හිමින් සීරුවේ අල්තාරය දිහාවට සුරංගනාවියක් වගේ අඩි තියන කෙල්ලව දැක්කම මගේ ඇස් දෙකට කදුළු ඉනුවේ මටත් නොදැනිම වගේ..

---------------------------------------------------------------------------------

මට තාම මතකයි. මේ වගේ මඟුල් පූජා කීයක් නම් දැකලා ඇතිද...ඒ දවස් වල මම උන්නෙත් පල්ලියේ කන්තාරු කණ්ඩායමේ... මහ පල්ලියෙ තිබුන හැම මඟුල් පූජාවකටම ගීතිකා කිව්වේ අපි.. වෙනස් වෙනස් මනමාලියෝ ඕනා තරම් දැකලා තිබුනත් ඒ අය දකිනකොට හිතින් හිතුවේ කවදාකම හරි මටත් මේ වගේම මේ පල්ලියෙම මගේ හීනකුමාරයාගේ අතින් සදහටම අල්ලගන්න පුලුවන් වෙයිදෝ කියලයි...මංගල සීනු හඬ මැද්දෙන් පල්ලිය මැදින් අල්තාරයට ඇවිදගෙන යන මනමාලියකගේ ඇස් වල කොයි තරම් බලාපොරොත්තු තියෙනවද.. ඒ දිහාව බලාගෙන ඉන්නත් ආසයි..
හැම කෙල්ලෙක් වගේම මමත් හීන මැව්වේ ඒ වගේම ලස්සනම ලස්සන මනමාලියෙක් වෙලා හැමෝගෙම ආශිර්වාදෙත් එක්කම මට ගොඩාක් ආදරේ කරන හීනකුමාරයෙක් එක්ක මගේ මුල ජීවිතේම ගෙවන්න....
චාමෙට සැලසුම් කරපු මඟුල් ගෙදරක, එන හැමෝගෙම ඇස් යන අහිංසක මනමාලියෙක් වෙන්න...

එක විශේෂ දවසක්...එදා මට වගේම අපේ කන්තාරු කණ්ඩායමේ කට්ටියටම ගොඩාක් විශේෂ දවසක් උනා.. අපිත් එක්කම අනිත් අය අතිනත ගන්න දවසේ ඒ අය වෙනුවෙන් ගීතිකා කියපු අපේම සාමාජිකාවක් වෙනුවෙන් එදා අපි ගීතිකා කියන්න සූදානම් උනා...
ඒක ඇත්තටම ලස්සන දවසක්.. අමතක කරන්න බැරි දවසක්.. ඒ වගේම මගෙ ජීවිතේටත් ගොඩාක් බලාපොරොත්තු එකතු වෙච්ච, මගේ ජීවිතේ ලොකුම ලොකු වෙනසක් ඇති කරපු දවසක් උනා..එදා තමයි මට පැතුම්ව මුලින්ම හම්බවෙච්ච දවස... එදායින් පටන් ගත්තු අපේ කතා බහ කවදාවත් අතාරින්න බැරි තරමේ ආදරයකට පෙරලුනේ අපිටත් නොදැනිම වගේ... මට දැනුනේ මම බලාපොරොත්තු උන හීනකුමාරයා මගේ ඇස් ඉදිරිපිට වගේ.. ඒ දවස් හරිම ලස්සනයි... මතක් වෙනකොටත් ලෝබ හිතෙනවා...

අතීත මතක වල සක්මන් කරපු හිත පියවි ලෝකෙට ආවේ ආයෙම පැතුම්ගෙ කටහඬ ඇහෙනකොට....
" මොනාද කල්පනා කරන්නේ?? "
" නැහැ.. මනමාලි හරිම ලස්සනයි නේද පැතුම්?? "
" හ්ම්.. "
එවෙලේ පැතුම්ගේ ඒ ඇස් වල අසරණකම මට හිතට දරාගන්න බැරි තරම් දුකක් දුන්නා..
පූජාව අවසානෙට කට්ටියට කතාත් කරලා මායි පැතුමුයි පාර දිගේ පයින්ම ඇවිදගෙන ආවේ ගෙවල් පල්ලිය අහල පහල හින්දා...
මේ වෙනකන් වචනයක්වත් කතා නොකරපු පැතුම් එක පාරටම " මට සමාවෙන්න චතුරි " කියද්දි මට එයා දිහාව බැලුනේ පුදුමෙන් වගේ...
" මම දන්නවා ඔයත් මනමාලියෙක් වෙන්න ගොඩක් හීන මැව්වා කියලා.. ඒත් මට ඔයාට ඒ හීනේ හැබෑ කරල දෙන්න බැරි උනා.. ඔයා මට නොකිව්වට මඟුල් ගෙදරක යන වාරයක් වාරයක් ගානේ හිතින් දුක් වෙනවා කියලා මම දන්නවා.. "
" හීන කියන්නේ හීන වලට පැතුම් ... හැම හීනයක්ම සැබෑ වෙන්නේ නෑනේ.. දකින හීන සැබෑ කරගන්න පුලුවන් වෙන්නේ ගොඩාක් වාසනාවන්ත අයට... මම අවාසනාවන්තයි කියනවා නෙමේ.. මොකද ඔයා වගේ කෙනෙක් මට ලැබුන එකම ඇති.. මොන දේ වෙලා හරි අද අපි දෙන්නා එකට ඉන්නවානේ පැතුම්.. මට ඒ ඇති.. "
" මෙව්වා අපේ දෙමව්පියන්ගෙ වැරදි චතුරි... ඒ ගොල්ලො අපිට නැති කරේ අපිට ගොඩාක් වැදගත් අවස්ථාවක්.."
"ගිය දේවල් වැඩක් නෑ පැතුම්... හැමෝගෙම අකමැත්තෙන් හරි මම ඔයත් එක්ක ආවට මට වැරදිලා නෑ.. ඒක ඒ ගොල්ලෝ කවදා හරි තේරුම් ගනී... මම හැමදාම දෙයියන්ගෙන් ඉල්ලන්නෙත් එයාලට අපි ගැන තරහක් හිතේ තියන්න එපා කියලා.. "
කතාවෙන් කතාව ගෙදරටත් ලං වෙලා.. මෙතන මට තියන සැනසීම වෙන කොහෙවත් නෑ.. හිතින් මැව්ව හීනයක් හැබෑ කරගන්න බැරි උනා කියලා මට දුකක් නෑ, මොකද ඒ දුක අමතක වෙන්න තරම් සතුටක් පැතුම් එක්ක අපේ පුංචි ගෙදර මට තියෙනවා.. මුලු ජීවිතේ පුරාවටම මට ගොඩාක් ආදරේ කරන කෙනාගේ අතින් සදහටම අල්ලගන්න මම වාසනාවන්ත උනා...
ජීවිතේ අහිමි වෙච්ච දේවල් ගැන මට දුකක් නෑ.. ලැබුනු දේවල් ඊටත් ඉහලින්....

7 comments:

  1. මෙන්න මෙයා ආයෙ ලියලා.. ආයෙ කවද්ද ලියන්න පටන් ගන්නෙ ? :P

    ReplyDelete
  2. හ්ම්ම් හැම කෙල්ලෙක්ගේම සිහිනය ඒක. ඒ උනත් තමාට මුළු ජීවිතේටම ආදරේ කරන කෙනෙක් ඊට වඩා වටිනවා..

    ReplyDelete
  3. ලස්සනයි කතාව..

    ReplyDelete
  4. මාත් මගේ මනමාලිව ඔය විදිහටම කැන්දාගෙන යන්න හීන දැක්ක.එත් හැමදේම හරි ඉක්මනට වෙනස් උනා.ගිය දේවල් කවදාවත් අපහු ලන්කරගන්න බෑ..කතාව ලස්සනයි.

    ReplyDelete
  5. හානේ මේ ඉශ්වි ළමයා නේ

    ReplyDelete
  6. ආයේ ඉතින් හිතුනම තමයි බනී... :

    @ වර්ණා - හ්ම්ම්ම්...

    @ Dinesh n දිලීප - ගොඩාක් තැන්කූ... ගිය දේවල් ගැන හිතලා වැඩක් වෙන්නේ නෑ තමයි..

    ඔව් ඔව් අලේ.. මේ මම තමයි...

    ReplyDelete
  7. hmmmmmmmm.......... godak lassanai...........

    ReplyDelete